ජපානයේ 7-Eleven සුපිරි වෙළඳසැල් ජාලය එරට ජනතාවගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරමින්, එරට සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදු කළ සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන තොෂිෆුමි සුසුකි (Toshifumi Suzuki) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 93 වැනි වියෙහි පසුවූ ඒ මහතාගේ අභාවයට හේතුව හෘදයාබාධයක් බව ඔහුගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ Seven & i සමාගම තහවුරු කර ඇත.
දශක හතරකට වැඩි කාලයක් පුරා මෙම ව්‍යාපාරික අධිරාජ්‍යය මෙහෙයවූ සුසුකි මහතා, ටෝකියෝ නුවර පැවති එක් කුඩා වෙළඳසැලක් ලොව පුරා දහස් සංඛ්‍යාත ශාඛා සහිත දැවැන්ත ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.ඔහුගේ ව්‍යාපාරික ගමන ආරම්භ වූයේ ජපානයේ ප්‍රමුඛ පෙළේ සිල්ලර වෙළඳ සමාගමක් වන ඉටෝ-යොකාඩෝ (Ito-Yokado) ආයතනයට සම්බන්ධ වීමත් සමඟය. එහිදී ඇමරිකානු 7-Eleven වෙළඳසැල් ජාලය පිළිබඳව උනන්දුවක් දැක්වූ ඒ මහතා, කුඩා පරිමාණයේ සාම්ප්‍රදායික වෙළඳසැල් බහුලව පැවති ජපන් වෙළඳපොළට මෙම සංකල්පය හඳුන්වා දීමට උත්සාහ කළ අවස්ථාවේදී බොහෝ දෙනෙකුගෙන් එල්ල වූයේ දැඩි විවේචන සහ සැකයකි. කෙසේ වෙතත්, "වෙනස්කම්වලට හැඩගැසීම" යන තම ජීවන ප්‍රතිපත්තිය පෙරදැරි කරගනිමින් නොසැලී ඉදිරියට ගිය සුසුකි මහතා, 1973 වසරේදී ඇමරිකානු සවුත්ලෑන්ඩ් (Southland) සමාගම සමඟ ඇති කරගත් එකඟතාවයකට අනුව 1974 වසරේදී ටෝකියෝ නුවර තොයෝසු (Toyosu) ප්‍රදේශයේ ප්‍රථම ජපන් 7-Eleven වෙළඳසැල ආරම්භ කළේය.
ඇමරිකානු ආහාර වර්ග සමඟ ඇරඹි මෙම වෙළඳසැල් ජාලය වසර දෙකක් ඇතුළත ශාඛා 100 ක් දක්වා වර්ධනය වූ අතර, 1975 වසරේදී ඔහු විසින් ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙළඳසැලක් ඇසුරින් පැය 24 පුරා ක්‍රියාත්මක වන සේවා ආකෘතියක් ජපානයට හඳුන්වා දෙන ලදී. ඉන් නොනැවතුණු සුසුකි මහතා, ජපන් සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට භාණ්ඩ තොග කළමනාකරණය සඳහා පරිගණකගත පද්ධතියක් (POS system) හඳුන්වා දෙමින් තාක්ෂණික පෙරළියක් ද සිදු කළේය. කාලයත් සමඟ සවුත්ලෑන්ඩ් සමාගමේ කොටස් අත්පත් කරගනිමින් 2005 වසර වන විට මෙම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ජපන් සන්තක ව්‍යාපාරයක් බවට පත් කිරීමට ද ඔහු සමත් විය.
සාම්ප්‍රදායික ජපන් ආහාර වර්ග වන බෙන්ටෝ (Bento boxes) සහ ඔනිගිරි (Rice balls) වැනි දෑ සුපිරි වෙළඳසැල් හරහා ජනප්‍රිය කරවීමට කටයුතු කළ සුසුකි මහතා, පසුව බැංකු සේවා, පාර්සල් ප්‍රවාහන සේවා, බිල්පත් ගෙවීමේ පහසුකම් සහ නැවුම් කෝපි අලෙවිය වැනි විවිධ සේවාවන් රැසක් එකම වහලක් යටට ගෙන එමින් 7-Eleven සන්නාමය ජන ජීවිතයට බද්ධ කළේය. මෙම සුවිශේෂී ව්‍යාපාරික ඥානය හේතුවෙන් ක්ෂේත්‍රය තුළ ඔහුව "සිල්ලර වෙළඳාමේ දෙවියන්" (god of retail) ලෙස ද හඳුන්වනු ලැබූ අතර, 2015 වසර වන විට ලොව පුරා වෙළඳසැල් 55,000 කට වඩා අධික ප්‍රමාණයක් දක්වා මෙම ජාලය ව්‍යාප්ත විය. කෙසේ වෙතත්, සමාගමේ පාලනාධිකාරිය තුළ ඇති වූ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් සහ විශ්වාසභංගත්වයන් හේතුවෙන් ඔහු 2016 වසරේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෞරවනීය උපදේශකයෙකු ලෙස පමණක් කටයුතු කළේය.
සුසුකි මහතාගේ නික්මයාමෙන් පසු Seven & i සමාගම විවිධ ව්‍යාපාරික අංශ වෙත යොමු වුවද, ඒවායින් බලාපොරොත්තු වූ ලාභ නොලැබීම හේතුවෙන් මෑත කාලයේදී දැඩි ආර්ථික පසුබෑමකට සහ කැනේඩියානු තරඟකාරී සමාගමකින් පැමිණි ඩොලර් බිලියන 47 ක අත්පත් කරගැනීමේ තර්ජනයකට ද මුහුණ දී සිටී. වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් ඩැකස් (Stephen Dacus) මහතා විදේශීය වෙළඳපොළවල් වෙත ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් සමාගම නැවත නගාසිටුවීමට සැලසුම් සකස් කරමින් සිටින අතර, ඒ සඳහා සුසුකි මහතා සතු වූ සුවිශේෂී නිර්මාණශීලී ව්‍යාපාරික දැක්ම සහ නවෝත්පාදන ජීවගුණය නැවතත් සමාගම තුළ ඇති කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.
