pallegama-thera-nirapadade-arrested-for-a-prostitutes-statement---dilum-amunugama

වත්මන් රජය විසින් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇත්තේ ගණිකාවක විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් බව සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් පාලනාධිකාරිය රජයට විවිධ අයුරින් සහාය දැක්වූ පාර්ශවයන් මෙන්ම ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් දඩයම් කිරීමේ ද්විත්ව ප්‍රතිපත්තියක නිරත වෙමින් සිටින බවයි.




කෙසේ වෙතත්, අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනාවලට අදාළ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය "ගණිකාවක" ලෙස හඳුන්වමින් දිලුම් අමුණුගම මහතා සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ මේ වන විට සමාජය තුළ දැඩි විවේචනාත්මක කතාබහක් මෙන්ම උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ 15 හැවිරිදි අදාළ බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති වටපිටාවක වීම විශේෂත්වයකි.

මේ අතර, මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත පසුගියදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් උන්වහන්සේව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 



සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එදින අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කර තිබූ අතර, උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත්, විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වීමට ඇති බවත් එහි සඳහන් විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුදා (13) නවලෝක රෝහලට ගොස් හිමියන් පරීක්ෂා කළ අතර ජාතික රෝහලට හිමියන් මාරු කරන ලෙස නියෝග කළේය
පසුව මැයි 15 නැවත නඩුව කැඳවන අවස්ථාව වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමියන් නැවත පරීක්ෂාවට ලක්විය.පල්ලේගම හේමරතන හිමියන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය දැනුවත් කරන ලදී.

එළැඹෙන 22 වන දා සැකකාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සිද්ධියේ ඉදිරි නීතිමය ගමන්මග තීරණය වනු ඇත.
gossiplanka image