පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් පසුගිය 16 වැනිදා අලුයම වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වූ අතර, ඊට හේතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු විසින් දුම්රිය මාර්ගයේ පීලි මාරු කිරීමට යොදාගන්නා යකඩ ලීවර් ගලවා ඉවත් කිරීම බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. සිද්ධියට අදාළව පෑලියගොඩ පොලීසිය විසින් වනවාසල ජම්බුවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් ගලවා ඉවත් කළ යකඩ ලීවර් වත්තල ප්‍රදේශයේ පිහිටි පරණ යකඩ මිලදී ගන්නා ස්ථානයකට රුපියල් 2400ක මුදලකට අලෙවි කර තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ ද සැකකරුගේ නිවසේ තිබී භාරයට ගෙන ඇත.මෙම සැකකරු අදාළ යකඩ කොටස් ගලවා ඇත්තේ 16 වැනිදා අලුයම් කාලයේදී වන අතර, දුම්රිය අනතුර සිදුවන විටත් ඔහු ඒවා අලෙවි කර ලබාගත් මුදලින් මත්පැන් පානය කර සිට ඇති බව හෙළි වී තිබේ. අනතුරට ලක්වූ දුම්රිය අලුයම 3.25ට පමණ ගමන් ආරම්භ කර, සෑම දුම්රිය ස්ථානයකම නතර කරමින් ධාවනය වී අලුයම 5.20ට පමණ වනවාසල දුම්රිය ස්ථානයෙන් පිටත්ව ඇත. ඉන් මීටර් 100ක් හෝ 200ක් පමණ ඉදිරියට යද්දී, පැයට කිලෝමීටර් 10ත් 15ත් අතර අඩු වේගයකින් ගමන් කරමින් තිබියදී මෙම පීලි පැනීම සිදුව ඇති බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, මෙම අනතුරින් දුම්රිය සංඥා පද්ධතියට පමණක් සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 20ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
මෙම සිදුවීමට පැයකට පමණ පෙර ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලාත්, කන්කසන්තුරේ සිට මොරටුව දක්වාත් ගමන් ගත් ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් මෙම ස්ථානය පසුකර ගොස් ඇත. එම අවස්ථාවේදීත් මෙම යකඩ ලීවර් ගලවා තිබී ඇති අතර, යම් හෙයකින් එම දුම්රියක් පීලි පැන්නේ නම් එය 2001 වසරේදී සිදුවූ දරුණු දුම්රිය අනතුරට නොදෙවෙනි ව්‍යසනයක් වීමට ඉඩ තිබූ බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති. දුම්රිය ගමන් කිරීමේදී ඇතිවන දෙදරීම හේතුවෙන්, ලීවර් නොමැති කමින් නිරායාසයෙන්ම පීලි මාරුවක් සිදුවීමෙන් මෙම අනතුර හටගෙන ඇත. ඒ අනුව දුම්රියේ එන්ජිම ප්‍රධාන මාර්ගයේත්, පසුපස මැදිරි අරුවක්කාරු කසළ අංගණය වෙත පිවිසෙන අතුරු මාර්ගයේත් ධාවනය වීමෙන් මෙලෙස පීලි පැනීම සිදුවී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ සහ ඒ අවට ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාරු වෙත ප්‍රවාහනය කිරීම සඳහා වනවාසල දුම්රිය ස්ථානය අසලින් මෙම විශේෂ අතුරු මාර්ගය සහ අංගණය ඉදිකර තිබුණි. ඒ සඳහා ගෙන්වූ විශේෂ දුම්රිය එන්ජින් සහ බහලුම් දැනට මගී ප්‍රවාහනය වැනි වෙනත් කටයුතු සඳහා යොදාගත්තද, මෙම අතුරු මාර්ගයේ දුම්රිය ධාවනයක් නිතිපතා සිදු නොවේ. ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක් මෙම කසළ අංගණයට පිවිසෙන්නේ නම් පීලි මාරු කළ යුතු අතර, සැකකරු විසින් ගලවාගෙන ගොස් ඇත්තේ එම පීලි මාරු කරන කොටසට අයත් යකඩ ලීවර් ය. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ යකඩ තොගය මිලදී ගත් පුද්ගලයා පසුගිය 17 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
