indigenous-people-protest-in-northern-norway-over-a-copper-mine

උතුරු නෝර්වේහි පිහිටි රෙපාර්ෆියෝඩ් (Repparfjord) ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින 'නුසිර්' (Nussir) තඹ පතල හේතුවෙන් යුරෝපයේ ආදිවාසී ජන කොටසක් වන සාමි (Sami) ජනයා දැඩි කනස්සල්ලට පත්ව සිටිති. නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය සහ රුසියාව හරහා විහිදුණු 'සැප්මි' (Sapmi) නමින් හැඳින්වෙන භූමියකට උරුමකම් කියන මෙම ජනතාව සියවස් ගණනාවක සිට පිනිමුවන් (reindeer) පාලනය සහ මසුන් ඇල්ලීම සිය ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති.

කෙසේ වෙතත්, නව තඹ පතල් ව්‍යාපෘතිය හේතුවෙන් පිනිමුවන්ගේ සාම්ප්‍රදායික පැටවුන් බෝකරන බිම් සහ තම පාරම්පරික ජීවන රටාව දැඩි තර්ජනයකට ලක්වනු ඇතැයි ෆියෙටාර් (Fiettar) පිනිමුවන් පාලන දිස්ත්‍රික්කයේ නායක නිල්ස් මිකෙල්සන් උට්සි ප්‍රකාශ කරයි.




රටේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තඹ නිධිය වන මෙය, පිනිමුවන් බෝවන භූමියකට පහළින් භූගත පතලක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, පතලෙන් ඉවතලන අපද්‍රව්‍ය ටොන් මිලියන 30ක් පමණ මුහුදු බොක්කට (fjord) මුදා හැරීමට අවසර ලබා දී තිබීමයි. මෙම මුහුදු කලාපය අත්ලාන්තික් සැමන් මසුන්ගේ ප්‍රධාන අභිජනන මධ්‍යස්ථානයක් වන අතර කෝඩ් සහ හැඩොක් වැනි වෙනත් මත්ස්‍ය විශේෂයන්ගේ ද වාසස්ථානයකි. සාගරයට පතල් අපද්‍රව්‍ය බැහැර කිරීමට නීතිමය අවසරය ලබා දෙන ලොව සීමිත රටවල් කිහිපය අතරට මේ වන විට නෝර්වේ රාජ්‍යය ද එක්වී ඇත.

පතල් කැනීමේ කටයුතු සහ අපද්‍රව්‍ය බැහැර කිරීමට එරෙහිව 'Nature and Youth' වැනි සංවිධානවලට අයත් තරුණ පාරිසරික ක්‍රියාකාරීන් රැසක් මේ වන විටත් දැඩි ශීතල ද නොතකා විරෝධතාවල නිරත වෙමින් සිටිති. පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් වන විදුලි කෝෂ සහ සුළං ටර්බයින නිෂ්පාදනය සඳහා අවශ්‍ය ලෝහ ලබා ගැනීමේ තරගයකට යුරෝපීය රජයන් අවතීර්ණ වී සිටින බැවින් මෙවැනි ගැටුම් යුරෝපය පුරාම වර්ධනය වෙමින් පවතී. 2024 යුරෝපා සංගම් නීතියක් වන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය පනත (Critical Raw Minerals Act) මගින් ද නුසිර් වැනි ව්‍යාපෘති දිරිමත් කරනු ලබන අතර, පරිසර හිතකාමී තාක්ෂණයන් ගොඩනැගීමේ අරමුණ පතල් කැණීම් සාධාරණීකරණය කිරීමේ නිදහසට කරුණක් ලෙස බහුලව භාවිත වන බව 'ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද අර්ත් යුරෝප්' සංවිධානයේ ලින්ඩ්සේ වුයිසන් පෙන්වා දෙයි. එහෙත් එම ඛනිජ ද්‍රව්‍ය සැබවින්ම පරිසර හිතකාමී කටයුතු සඳහාම යොදාගන්නා බවට කිසිදු සහතිකයක් නොමැති බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

එහෙත්, නුසිර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඔයිස්ටයින් රෂ්ෆෙල්ඩ්ට් පවසන්නේ පිනිමුවන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා සම්පූර්ණයෙන්ම භූගත මෙහෙයුමක් හරහා තඹ නිස්සාරණය කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි. එසේම, පිනිමුවන් එඬේරුන් සඳහා ජංගම ඝාතකාගාර වැනි පහසුකම් ලබා දීමට සමාගම ඉදිරිපත්ව සිටින අතර, පතල හරහා රැකියා 250ක් පමණ මේ වන විටත් නිර්මාණය වී ඇති බවද ඔහු අවධාරණය කරයි. මේ අතර, නෝර්වේජියානු පරිසර ඒජන්සියේ නිලධාරියෙකු වන හැරල්ඩ් සෝර්බි ප්‍රකාශ කරන්නේ සාගරයට පතල් අපද්‍රව්‍ය දැමීම මතභේදාත්මක වුවද, ඒවා ගොඩබිම ගොඩගැසීම හරහා පිනිමුවන්ගේ දිවියට මීටත් වඩා විශාල හානියක් සිදුවිය හැකි බවයි. එමෙන්ම බොක්කෙහි ඇති ගැඹුරු ජල ස්කන්ධය මගින් මෙම අපද්‍රව්‍ය ආරක්ෂිතව රඳවා ගනු ඇතැයි ද නියෝජිතායතනය විශ්වාසය පළ කරයි.

indigenous-people-protest-in-northern-norway-over-a-copper-mine

indigenous-people-protest-in-northern-norway-over-a-copper-mine