දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ප්‍රධාන පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ හදිසි පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින තුළ ද වසා තැබෙනු ඇත. මෙම පාසල් සිසුන් අතර පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳව සැක පළ කරන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙය ‘මෙනින්ජයිටීස්’ (Meningitis) හෙවත් මොළේ උණ තත්ත්වයක් විය හැකි බවයි.
පසුගිය 07 වනදා සහ 08 වනදා ද මෙම පාසල් හතර රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි. කෙසේ වුවද, ප්‍රදේශයේ සිසුන් අතර රෝගය පැතිර යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අංශවල උපදෙස් මත අදාළ නිවාඩු කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වන විටත් රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ අධ්‍යාපන බලධාරීන් ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. දරුවන්ට තද උණ, දැඩි හිසරදය හෝ වමනය වැනි රෝග ලක්ෂණ පවතී නම් කිසිදු ප්‍රමදයකින් තොරව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස දෙමාපියන්ට විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.
