2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 35882/24 දරන නඩුවේ තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නම් කර ඇති පසුබිමක, ඔහුගේ බිරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.
එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය විසින් පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද අදාළ ලිපිය මඟින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැඳවුම් භාරයේ පසුවන සිය ස්වාමිපුරුෂයාට එහිදී වධහිංසා සහ අයුතු සැලකීම් සිදුවන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත. එසේම ඔහුව රැඳවුම් භාරයෙන් නිදහස් කිරීමට හෝ එසේ කළ නොහැකි නම් අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීමට මැදිහත් වන ලෙස ද ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, මීට පෙර පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මේ පිළිබඳව පැමිණිලි කළ ද ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙලෙස සෘජුවම ජනාධිපතිවරයා වෙත කරුණු දැක්වූ බව ද ඇය සිය ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සුරේෂ් සලේ රඳවා තබා ගැනීමේදී නිසි නීතිමය ක්‍රියාපාටි අනුගමනය කර නොමැති බවට ඔහුගේ බිරිය මීට පෙර ද දැඩි කනස්සල්ල පළ කර තිබුණි. නිවසින් ආහාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, පොලිස් නිෂ්කාශන සහතික ප්‍රමාද වීම හේතුවෙන් සිය පුත්‍රයාට පියා බැලීමට අවස්ථාව අහිමි වීම සහ නීතිඥ හමුවීම්වලදී CID නිලධාරීන් ජංගම දුරකථන භාවිතයෙන් එම සාකච්ඡා පටිගත කිරීමට උත්සාහ කරමින් නීතිඥ-සේවාදායක රහස්‍යභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අනුජය ප්‍රේමරත්න, රසික් බාලසූරිය, අසිත් සිරිවර්ධන සහ භානුක ආර්. මලවියාරච්චි යන නීතිඥ මණ්ඩලය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ද ඉදිරිපත් කර සහන ඉල්ලා සිටින ලදී.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, අදාළ කාල සීමාවේදී ඔහු විදේශ තානාපති කාර්යාලයක සේවය කළ බවට උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් ගොඩනඟා තිබූ තර්කය, විමල් වීරවංශ මහතා විසින් රූපවාහිනී සජීවී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් බිඳ වැටී තිබේ. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සාමාජිකයන් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් භාවිත කරන බවට වීරවංශ මහතා කළ එම හෙළිදරව්වත් සමඟ, ප්‍රහාරය සැලසුම් කළ සමයේ සලේ ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රහාරකයන් හමු වූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී අනාවරණය වී තිබූ සාක්ෂි තවදුරටත් තහවුරු වී ඇති අතර, වීරවංශ මහතාට එරෙහිව ද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාවක් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවතීම ද විශේෂත්වයකි.
සුරේෂ් සලේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී ඔහු ලබාගත් දුරකථන ඇමතුම්වලට අදාළ අංක වෙත නැවත ඇමතුම් ගත නොහැකි බවට යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ ඔත්තුකරුවෙකු විසින් කරන ලද ප්‍රකාශයක් මත, ව්‍යාජ දුරකථන අංක පෙන්වීමේ තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳව ද නව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් 2019 මැයි 20 දිනැතිව යොමු කළ වාර්තාවකට අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් ද මෙලෙස ව්‍යාජ අංක පෙන්වන දුරකථන ඇමතුම් 39ක් භාවිත කර ඇති බව අනාවරණය වී තිබූ අතර, වර්තමානයේදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් ද මෙම ක්‍රමවේදයම භාවිත කරමින් සිටින බවට හඳුනාගැනීමත් සමඟ CID ය ඒ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටී.
