ප්‍රසංග වේදිකාව තුළ 'කඩියා' යන අන්වර්ථ නාමයෙන් මෙන්ම සිංහල සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රවීණ කලාකරු මහේෂ් ජයසිංහ මහතා ඊයේ (30) දින මාරවිල රෝහලේදී හදිසියේම අභාවප්‍රාප්ත විය. මියයන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අභාවයත් සමඟ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති වූ අතර, ඔහු සැමගේ මුහුණට සිනහවක් එක්කළ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙස දශක ගණනාවක් පුරා බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.
සිය පාසල් අවදියේදී 'පෙරහැර' නමැති වේදිකා නාට්‍යයෙන් කලා ලොවට පියවර තැබූ ඔහු, ස්ටැන්ලි පෙරේරාගේ 'සඳ' චිත්‍රපටයේ 'වඩුමඩුවේ කොල්ලා' ලෙස රිදී තිරයට ප්‍රවිෂ්ට විය. අසූව සහ අනුව දශකවල සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හැඩකළ ෆ්‍රෙඩී සිල්වා වැනි දැවැන්තයින් සමඟින් රංගනයේ යෙදුණු ජයසිංහ මහතා, 1989 වසරේ තිරගත වූ 'නොම්මර 17' චිත්‍රපටයේ 'බ්‍රින්ජෝල්' ගේ චරිතයෙන් ද, 1990 වසරේ 'චණ්ඩි රජා' සහ 'යුක්තියට වැඩ' යන චිත්‍රපටවලින් ද ප්‍රේක්ෂක මතකයේ නොමැකෙන සටහන් තැබීය. ඊට අමතරව 'ජය අපටයි', 'රස රහසක්', 'නැව ගිලුණත් බෑන් චූන්', 'ශක්තිය ඔබයි අම්මේ', 'ඔබට පමණයි ආදරේ', 'කම් ගෝ චිකාගෝ', 'සළඟක් හඬයි', සහ 'නරලොව හොල්මන්' වැනි චිත්‍රපට රැසකම හාස්‍යෝත්පාදක හා චරිතාංග රංගනයෙන් ඔහු සිනමාවට කළ දායකත්වය අතිමහත්ය.
චිත්‍රපටවලට අමතරව දශක කිහිපයක් පුරා ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය සැපයූ ඔහු, සිය සුහදශීලී සහ හාස්‍යජනක රංගන විලාසය හරහා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වීමට සමත් විය. 'කඩියා' නමින් නිකුත් කළ කැසට් පටය හරහා ප්‍රසංග වේදිකාවට එක්වූ ඔහු ගායන ශිල්පියෙකු ලෙසද දස්කම් දැක්වූ අතර, 'පැන්ෂන් මහත්තයා', 'හා', 'හොරොයින්' සහ 'සාරා' වැනි වේදිකා නාට්‍ය හරහාද සිය කෞශල්‍යය ප්‍රකට කළේය.
මෙම ප්‍රවීණ කලාකරුවාගේ වියෝව පිළිබඳ පුවත සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ පුවත් වෙබ් අඩවි ඔස්සේ රසිකයින් මෙන්ම සහෘද කලාකරුවන්ද ඔහුට "නිවන් සුව ලැබේවා" යි ප්‍රාර්ථනා කරමින් සිය අතීත මතකයන් ආවර්ජනය කර තිබිණි. පෞද්ගලික දිවියේ තිදරු පියෙකු වූ මහේෂ් ජයසිංහ මහතාගේ දේහය මේ වන විට වෙන්නප්පුව, උල්හිටියාව, පල්ලිය පිටුපස පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පස්වරු 4.00 ට වෙන්නප්පුව කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
