සංචාරක පැමිණීම අඩුවීම සහ දෛනික මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් තම ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ තත්ත්වය මත ඉදිරියේදී රැකියා අහිමිවීම් මෙන්ම සේවා බිඳවැටීම් සිදුවිය හැකි බවටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පෞද්ගලික කුලී රථ සේවා ක්‍රියාකරුවෝ අනතුරු අඟවති.
ඔවුන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වයන්, අධික ගුවන් ගාස්තු සහ වෙනත් සෘතුමය සාධක හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම පහත වැටී ඇති බවත්, ඒ හරහා ගුවන් තොටුපළ ප්‍රවාහන සේවා සඳහා වන ඉල්ලුම මේ වන විට සීඝ්රයෙන් අඩුවී ඇති බවත්ය.
සෑම කුලී රථ සේවා සපයන්නෙකුම වාහන දොළහක පමණ රථ ඇණියක් සහ ඒ සඳහා කැපවූ කවුන්ටර කාර්ය මණ්ඩලයක් නඩත්තු කළ යුතු අතර, වත්මන් තත්ත්වය යහපත් නොවන්නේ නම් ක්‍රියාකරුවන් යටතේ සේවය කරන දෙසිය පනහකට අධික සමස්ත සේවක පිරිසකගේ රැකියා දැඩි අවදානමකට ලක්වන බවද ඔවුහු පෙන්වා දෙති.
මීට අමතරව, ආදායම් අඩුවී ඇති මෙවන් දුෂ්කර වකවානුවක ගුවන් තොටුපළ බලධාරීන් වෙත මාසික කුලිය ලෙස රුපියල් මිලියන හතරකට අධික මුදලක් ගෙවීමට සිදුවීම තම මූල්‍යමය බර තවදුරටත් ඉහළ නංවන බව කුලී රථ ක්‍රියාකරුවෝ පවසති.
මීටර් සහිත කුලී රථ සේවා සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ අඩු කුලියක් සහ අඩු ප්‍රචාරණ ගාස්තු අය කිරීමට ඉඩදීම හේතුවෙන් අසාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය වී ඇති බවටද ඔවුහු බලධාරීන්ට චෝදනා කරති.
ඔවුන් සඳහන් කරන ආකාරයට, සමහර ක්‍රියාකරුවන්ගෙන් ගුවන් තොටුපළ අභ්‍යන්තර ප්‍රචාරණ අවකාශය සඳහා රුපියල් මිලියන දෙකක පමණ මුදලක් අය කරන අතරතුර, තවත් පිරිසකට ඉතා අඩු මිල ගණන් යටතේ එම පහසුකම් ලබාදීම තුළින් මෙම පරතරය තවදුරටත් පුළුල් වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මාස තුනක කාලයකට කුලියෙන් සියයට පනහක තාවකාලික සහනයක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, ඊට මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් නොලැබුණහොත් කාර්ය මණ්ඩලය කප්පාදු කිරීමට සිදුවන බවත්, එය සේවා ගුණාත්මක භාවයට මෙන්ම සේවකයන්ගේ ජීවනෝපායටද දැඩි සේ බලපානු ඇති බවත් ඔවුන් විසින් අවධාරණය කර ඇත.
විදේශීය සම්භාවනීය අමුත්තන්, ජාත්‍යන්තර ප්‍රභූන් සහ ඉහළ පෙළේ සංචාරකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයමින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා තමන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බවද කුලී රථ සේවා ක්‍රියාකරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම සේවාවන් යම් හෙයකින් බිඳවැටීමකට ලක්වුවහොත්, එය ඉහළ පෙළේ සංචාරක වෙළඳපොළට සේවා සැපයීමට රටට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.
