an-illegal-communications-center-in-the-ratmalana-high-security-zone

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ආසන්නව පිහිටි අධි ආරක්ෂිත කලාපයක් වන අත්තිඩිය ප්‍රදේශයේ සංචාරක ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලනු ලැබ තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව සිදු කළ මෙම වැටලීමේදී අදාළ මධ්‍යස්ථානය මෙහෙයවූ පනස් පස් හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.

සැකකරුවන් විසින් පෞද්ගලික දුරකථන සේවා සපයන සමාගමක දත්ත භාවිතා කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නාලිකා බාගත කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. අනතුරුව පාරිභෝගික අවශ්‍යතා මත අදාළ රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන් ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තරය වෙත ද නීති විරෝධී ලෙස නැවත බෙදා හැරීමේ ජාවාරමක් මෙම ස්ථානයේ රහසිගතව ක්‍රියාත්මක කර තිබේ. කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ප්‍රධාන සැකකාර මාලදිවයින් ජාතිකයා විසින් මෙම කටයුතු සියල්ල මෙහෙයවා ඇති බව පොලිසිය තහවුරු කරයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ මෙම සෝදිසි කිරීමේදී රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් සන්නිවේදන උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අතර අඩි අටක් පමණ උසැති චන්ද්‍රිකා උපකරණ රඳවනයක්, භාවිත කළ සැටලයිට් රිසීවර් දහයක් සහ භාවිත නොකළ රිසීවර් හතරක්, විශාල ප්‍රමාණයේ සැටලයිට් ඩිෂ් පහක්, සැටලයිට් හිස් පෙට්ටි දහසයක්, පරිගණක තුනක්, ස්ටාර්ලින්ක් (Starlink) ඒකකයක් සහ විශාල රූපවාහිනී යන්ත්‍රයක් ද වන බව වාර්තා වේ.

මෙම නීති විරෝධී මධ්‍යස්ථානය ගුවන්තොටුපොළට ආසන්න අධි ආරක්ෂිත කලාපයක පවත්වාගෙන යාම සහ විදේශිකයන් විසින් මෙහෙයවීම හේතුවෙන්, මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත. ඒ අනුව අයි.එස්.අයි.එස්. ඇතුළු කිසියම් ත්‍රස්තවාදී සංවිධානයක් සමග මොවුන්ගේ සබඳතාවක් පවතී ද යන්න සෙවීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.