මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවාවසම් මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ, 70 හන්දිය, බිල්ඩින් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන දහම් පාසල් ගුරුවරයෙකුට වන අතර ඔහුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් මෙම තීන්දුව ලබා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව, 2015 වසරේදී මෙම විත්තිකරු එම ප්‍රදේශයේම පදිංචි කුඩා පිරිමි දරුවෙකු සිය බයිසිකලයේ නංවාගෙන වැව් කණ්ඩිය අසල පිහිටි කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් එහිදී මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර තිබේ. මොණරාගල මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු මනාව විමර්ශනය කළ විනිසුරුවරයා, විත්තිකරු එල්ල වී තිබූ චෝදනා දෙකකට වරදකරු බව ප්‍රකාශ කළේය.
එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24ක සිරදඬුවම් නියම කළද එම දඬුවම් කාලය වසර 12කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය. සිරදඬුවමට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් රජයට ගෙවන ලෙසත්, අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙසත් මෙහිදී නියෝග කෙරිණි.
නියම කරන ලද දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් සහ වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් වසර තුනක ලිහිල් සිරදඬුවමක් විත්තිකරුට අතිරේකව විඳීමට සිදු වන බවද විනිසුරුවරයා සිය තීන්දුව මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
