a-major-disaster-is-avoided-by-the-drivers-actions

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේදී නවතා තිබූ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටී සිදුවන්නට ගිය මහා විනාශයක් එම රථයේ රියදුරුගේ ක්ෂණික සහ බුද්ධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ. කහතුඩුව පොලීසිය සඳහන් කරන පරිදි, මෙම අනතුරත් සමඟ යතුරුපැදිය ගිනි ගැනීමට ලක්ව ඇති අතර, රියදුරු තම රථය උපක්‍රමශීලීව ධාවනය කර ගිනිගත් යතුරුපැදිය රථයෙන් වෙන් කරගැනීම නිසා රුපියල් කෝටි ගණනක් වටිනා රබර් තොගයක් සහ අවට දේපළ විනාශ වීම වැළකී ගොස් ඇත.




අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් රථයේ රියදුරු රබර් ශීට් තොගයක් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, තේ පානය කිරීම සඳහා වෑතර ප්‍රදේශයේ හෝටලයක් අසල රථය නතර කර තිබේ. එම අවස්ථාවේදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදියක් කන්ටේනර් රථයේ පිටුපස ගැටී ඇති අතර, ගැටීමේ බලපෑම නිසා යතුරුපැදිය රථයේ ඇමිණී ගිනි ගැනීමට ලක්ව තිබේ. ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත.

අනතුර සිදුවූ වහාම අවට සිටි පිරිස තුවාලකරු බේරා ගැනීමට කටයුතු කළ ද, යතුරුපැදිය රථයේ තදින් ඇමිණී තිබීම හේතුවෙන් එය ඉවතට ගැනීමට නොහැකි වී ඇත. එම අවස්ථාවේදී හෝටලය තුළ සිටි රියදුරු සිද්ධිය දැක වහා ක්‍රියාත්මක වී, ගිනි ජාලාවකින් වෙලී තිබූ යතුරුපැදිය ද සමඟින් තම කන්ටේනර් රථය පණගන්වා ඉදිරියට ධාවනය කර තිබේ. අනතුරුව මාර්ගයේ දකුණු පස පිහිටි මැද දූපතේ (මැද ගැට්ටේ) යතුරුපැදිය ගැටෙන සේ රථය එක්වරම හරවා ධාවනය කිරීම නිසා, ඇමිණී තිබූ යතුරුපැදිය කන්ටේනර් රථයෙන් ගැලවී මාර්ගයට ඇද වැටී ඇත.




රියදුරු මෙම තීරණාත්මක පියවර නොගත්තේ නම් කන්ටේනර් රථයේ තිබූ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා රබර් ශීට් තොගය පමණක් නොව, මාර්ගය අසල පිහිටි වෙළඳසැල් රැසක් ද ගින්නට හසුවී විනාශ වීමට ඉඩ තිබූ බව ඇසින් දුටුවෝ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

a-major-disaster-is-avoided-by-the-drivers-actions

a-major-disaster-is-avoided-by-the-drivers-actions