apart-from-vehicles-the-prices-of-other-imported-goods-will-also-increase-in-the-coming-days

රටේ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ රුපියලේ අගය අඛණ්ඩව කඩා වැටීම පාලනය කිරීමේ අරමුණින් රජය මේ වන විට නව ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. එහි එක් ප්‍රධාන පියවරක් ලෙස, විදේශ විනිමය ගලා යාම සීමා කිරීම සහ රුපියල මත ඇති පීඩනය අවම කිරීම සඳහා වාහන ආනයන රේගු බදු මත අය කෙරෙන අධිභාරය සියයට 50 දක්වා ඉහළ නැංවීමට මෑතකදී රජය තීරණය කළේය.




මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පෙන්වා දෙන්නේ, රටේ ඩොලර් සංචිත වැඩි වශයෙන් වැය වන ආනයන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවාට යම් සීමා කිරීම් හඳුන්වා දීම හරහා විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමට රජය මේ වන විට පුළුල් අධ්‍යයනයක නිරත වෙමින් සිටින බවයි. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලට අනුව, ජනවාරි 01 වැනිදා සිට මැයි 08 දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 3.6 කින් පමණ අවප්‍රමාණය වී තිබේ. මීට අමතරව, පසුගිය සිකුරාදා දිනය වන විට ඩොලරයේ බැංකු විකුණුම් මිල රුපියල් 330 ක් ලෙස සටහන් වූ අතර එය සියයට 4.5 ක වේගවත් අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළේය.

නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම නව රේගු බදු අධිභාරය මාස තුනක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක කරන බවයි. වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් නොමැති පසුබිමක පවා වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි (LC) රැසක් විවෘත කර ඇති බවත්, හදිසි අවශ්‍යතාවයක් නොමැති පුද්ගලයින්ට මෙම මාස තුනක කාලයෙන් පසුව වාහන මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු අවධාරණය කළේය. මැයි 16 වැනිදා සිට මෙම නව අධිභාරය ක්‍රියාත්මක වන නමුත්, මැයි 15 හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම බදු වැඩිකිරීම අදාළ නොවන බව රජය නිවේදනය කර ඇත.




කෙසේ වෙතත්, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවන්නේ මෙම නව බදු සංශෝධනය හේතුවෙන් වාහන මිල අවම වශයෙන් රුපියල් මිලියන 1.5 කින් පමණ ඉහළ යනු ඇති බවත්, එමගින් සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීම දැඩි දුෂ්කරතාවයක් වනු ඇති බවත්ය. මේ අතර, බදු මගහැරීම් වළක්වා රජයේ බදු ආදායම ඉහළ නැංවීමට මෙන්ම බදු ක්‍රමය සරල කිරීමටද රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම ආදායම් බදු ගෙවීම මගහැරීම සඳහා ඇතැම් පාර්ශ්වයන් රක්ෂණ ඔප්පු ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, එවැනි නීතිමය හිඩැස් ආවරණය වන පරිදි පවතින නීති සංශෝධනය කිරීමටද ඉදිරියේදී පියවර ගැනේ.

රුපියල දිගින් දිගටම දුර්වල වීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ඉදිරි සති කිහිපය තුළ අනෙකුත් සියලුම ආනයනික භාණ්ඩවල මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ආනයනකරුවෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මැදපෙරදිග යුධමය තත්ත්වය සහ පොහොර අර්බුදය හමුවේ නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන්, ඉන්දියාව විසින් සැප්තැම්බර් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි සීනි අපනයනය තහනම් කිරීමට හදිසි පියවර ගෙන තිබේ. සීමාකිරීමේ සිට සම්පූර්ණයෙන් තහනම් කිරීම දක්වා ඉන්දියාව ගත් මෙම තීරණයත් සමඟ දේශීය සීනි ආනයනකරුවන්ට මේ වන විට තායිලන්තය සහ බ්‍රසීලය වැනි වෙනත් විකල්ප වෙළෙඳපොළවල් වෙත යොමුවීමට සිදුව ඇත.



පිටකොටුව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා පවසන්නේ ඉදිරි මාස දෙකක කාලය සඳහා ප්‍රමාණවත් තරම් සීනි තොග මේ වන විට රට තුළ පවතින බවයි. එහෙත් අනාගතයේදී වැඩි පිරිවැයක් යටතේ වෙනත් රටවලින් සීනි ගෙන්වීමට සිදුවන බවත්, රුපියල කඩා වැටීම හේතුවෙන් දින 90 ක ණය කාලසීමාවක් මත භාණ්ඩ ආනයනය කරන වෙළෙඳුන් දැඩි මූල්‍යමය අර්බුදයකට මුහුණ දී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 2025 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව පසුගිය වසරේදී සීනි සහ රසකැවිලි ආනයනය සඳහා පමණක් ඩොලර් මිලියන 368 ක් වැය කර ඇති අතර, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට ගත් පියවරයන් හේතුවෙන් එය 2024 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 390 ක ආනයන වියදමට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.