
කඳාන ප්‍රදේශයේ පදිංචි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත විසිඅට හැවිරිදි තරුණයකුට පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ බව කියන අමානුෂික පහරදීමක් සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරිය වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
රාත්‍රී කාලයේ සිය සේවා මුරය නිම කර යතුරුපැදියෙන් නිවෙස බලා එමින් සිටි මෙම තරුණයා ඔරුගොඩවත්ත විදුලි සංඥා පද්ධතිය අසලදී පොලිස් නිලධාරීන් පිරිසකගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට තරුණයා චෝදනා කරයි. එම අවස්ථාවේදී බැණ වැදුණු එක් නිලධාරියකුගේ නිල අංකය සිය ජංගම දුරකතනයේ සටහන් කර ගැනීමට මෙම තරුණයා උත්සාහ කර ඇති අතර එය දුටු පොලිස් නිලධාරීන් වහාම ඔහුට දිගට හරහට පහර දී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය ද උදුරාගෙන එහි වූ නිල අංකය මකා දමා ඇති බව කියැවේ.
මෙම අමානුෂික පහරදීම හමුවේ තරුණයාගේ දතක් කැඩී ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකටම බරපතළ තුවාල සිදුව තිබේ. මීට පෙර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් සිය දෙපා වලට යකඩ ප්ලේට් දමා ඇති බැවින් පාදවලට පහර නොදෙන ලෙස ඔහු පොලිස් නිලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියද, ඔවුන් එය නොතකා දිගින් දිගටම පහර දුන් බව තරුණයාගේ මව ප්‍රකාශ කර සිටියි. එමෙන්ම අදාළ තරුණයාව ඇළක් අසලට රැගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට එම පොලිස් කණ්ඩායම තර්ජනය කර ඇති අතර, ඔහුගේ පියා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ නිලධාරියකු වීම නිසාත්, සිය මව පොලිස් නිලධාරිනියක සහ මාධ්‍යවේදිනියක බව පැවසීම නිසාත් අවසානයේ ඔහුව මුදා හැරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා දින හතරක කාලයක් උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර, සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ඔහුගේ මව විසින් පොලිස්පති සහන මැදිරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් රෝහල් ගතව සිටි තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම පහරදීම සිදු කළ බව කියන පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු පොලිසිය විසින් පුළුල් මට්ටමින් ආරම්භ කර ඇත.
