හැටන් මස්කෙලිය පොලිස් බලප්‍රදේශයට අයත් ග්ලෙන්ටිල් වත්තේ පෙරිය නඩුවත්ත කොටසේ සිදුවූ පස් කන්දක් කඩා වැටීමේ අනතුරකින් ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (30) සවස 5.30 ට පමණ සිදුව ඇති බව මස්කෙලිය පොලිස් ස්ථානාධිපති එස්.
එස්. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.අදාළ ප්‍රදේශයේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එහි භූමිය කපා සකස් කිරීමේ කටයුතු සිදු කරමින් තිබියදී මෙම අනපේක්ෂිත අනතුර සිදුව ඇත. එහිදී බිම් මට්ටම සකස් කරමින් සිටි අවස්ථාවේදී අසල තිබූ විශාල පස් කන්දක් එකවරම කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි දේවගැතිවරයා පස්වලට යටවී තිබේ.
අනතුර සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් එක්ව පස් යට සිරවී සිටි දේවගැතිවරයාව දැඩි පරිශ්‍රමයකින් පසුව මුදා ගැනීමට කටයුතු කර ඇත. පසුව ඔහුව බරපතළ තත්ත්වයෙන් මස්කෙලිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙරිය නඩුවත්ත වතුයායේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයේ සේවය කළ රාජේන්ද්‍රන් ගෝපිනාත් නැමැති 41 හැවිරිදි දේවගැතිවරයෙකි. එක්දරු පියෙකු වන ඔහුගේ අභාවය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
