එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක මේ වන විට දෙමළ ඩයස්පෝරා සාමාජිකයෙකුට අයත් නිවසක පදිංචිව සිටින බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. රජයේ මැති ඇමතිවරුන් ඩයස්පෝරාව සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් තමන් කිසිදු දෝෂාරෝපණයක් එල්ල නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා, වෙනත් පාර්ශ්වයන් සමඟ සබඳතා පවත්වන අතරතුර මෙවැනි ඩයස්පෝරා සබඳතා පිළිබඳවද විවෘතව රටට හෙළි කළ යුතු බව අවධාරණය කළේය.
එසේම විජයග්‍රහණයේ සැමරුම් උළෙලට බාධා කිරීමේ කිසිදු අරමුණක් තමන්ට නොමැති වුවද, මෙම සත්‍ය තොරතුරු ජනතාවට ප්‍රකාශ කිරීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.පාර්ලිමේන්තුව අමතමින් තවත් බරපතළ කාරණා කිහිපයක් හෙළි කළ දසනායක මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරියෙකුගේ හැසිරීම දැඩි ලෙස විවේචනයට ලක් කළේය. අදාළ නිලධාරියා වධකයෙකු හෝ 'ඝාතකයෙකු' ලෙස කටයුතු කරමින් සිටින බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මෑතකාලීන අභාවය පිළිබඳවද අදහස් පළ කළේය. "මරලද එල්ලුවේ - එල්ලලද මරුවේ" යන ගීත ඛණ්ඩය උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, අල්ලස් කොමිසමට අනුයුක්ත මෙම නිලධාරියා පුද්ගල ඝාතනයන් සඳහා සම්බන්ධ වී ඇති බවක් ඉන් ගම්‍ය වන බවයි.
