ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 2026 වසරේ පාසල් මලල ක්‍රීඩා වාරය ඉලක්ක කරගනිමින් ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට අදාළ නිල තරග දින දර්ශනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර තරගාවලියේ කැපී පෙනෙන වෙනසක් වන්නේ පසුගිය වසර 12 මුළුල්ලේ ශ්‍රීමත් ජෝන් ටාබට් ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ රිට්ස්බරි ආයතනය එම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමයි.
කෙසේ වෙතත්, නව අනුග්‍රාහකයෙකු යටතේ තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන බව පාසල් මලල ක්‍රීඩා සංගමය තහවුරු කරයි.මෙම වසරේ පාසල් මලල ක්‍රීඩා වාරය මැයි මස 21 සිට 23 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාසල් වයස් කාණ්ඩ සහය දිවීමේ තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතය. අනතුරුව ජුනි මස 2 සහ 3 යන දිනවල ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් වතුපිටිවල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී 12න් පහළ පළමු අදියරේ තරග පැවැත්වේ. ජුනි 5 සිට 7 දක්වා වයඹ සහ මධ්‍යම පළාත් ඉලක්ක කරගනිමින් වෙන්නප්පුව මහජන ක්‍රීඩාංගණයේදීත්, ජුනි 20 සහ 21 දිනවල සබරගමුව, ඌව සහ දකුණු පළාත් වෙනුවෙන් බෙලියත්ත මහජන ක්‍රීඩාංගණයේදීත් කලාපීය තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.
ජුනි මස අවසානයේ සහ ජූලි මස මුලදී කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පළමු අදියරේ තරග බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ජූලි 7 සිට 8 දක්වා උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වේ. නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරග ජූලි 11 වනදා ත්‍රිකුණාමලය වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සමස්ත තරගාවලියේ තීරණාත්මක අවධියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් 7 සිට 10 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වසරේ අවසාන භාගයේදී, එනම් නොවැම්බර් 3 සහ 4 දිනවල 12න් පහළ කනිෂ්ඨ ශූරතාවලියේ දෙවන අදියර දියගමදී පැවැත්වෙන අතර, නොවැම්බර් 4 වනදා ශ්‍රීමත් ජෝන් ටාබට් මාර්ග ධාවන තරගය දියගමදී පැවැත්වේ. 2026 පාසල් මලල ක්‍රීඩා වාරය නිමාවට පත්වන්නේ නොවැම්බර් 5 සිට 7 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන අදියරේ තරගාවලියෙනි. දිවයින පුරා පාසල් මලල ක්‍රීඩා සංවර්ධනය ශක්තිමත් කිරීම සහ සෑම පළාතකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුල් සහභාගිත්වයක් ලබා දීම මෙම විධිමත් කාලසටහනේ ප්‍රධාන අරමුණ බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
