thunderstorms-this-evening

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට මෙම වැසි තත්ත්වය අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් බලපානු ඇත.




මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් දැකගත හැකි වනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය පෙර සූදානම් පියවර ගන්නා ලෙසත් ජනතාවට විශේෂ දැනුම් දීමක් ද සිදු කර තිබේ.

මේ දිනවල දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීම සිදුවන බැවින්, අප්‍රේල් මස 05 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බව ප්‍රකාශ වේ. ඒ අනුව අද (09) දහවල් 12:12 ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි සහ කිරන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්වීමට නියමිතව ඇත.