වර්තමාන රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට එරෙහිව ප්‍රථම වරට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද එකසිය හතරකින් පරාජයට පත් විය. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව ගෙන ආ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 49ක් ද, ඊට විරුද්ධව ඡන්ද 153ක් ද ප්‍රකාශ කෙරිණි.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ද මෙහිදී යෝජනාවට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.අද පෙරවරු 11.00 ට පමණ ආරම්භ වූ මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පස්වරු 5.30 දක්වා ක්‍රියාත්මක වූ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් විවාදය ආරම්භ කරනු ලැබීය. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් විසි දෙනෙකුට අධික පිරිසක් මෙම විවාදය සඳහා එක්වෙමින් සිය අදහස් දැක්වූහ.
සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත මෑතකදී භාර දෙන ලද මෙම යෝජනාව මගින් අමාත්‍යවරයාට එරෙහිව ප්‍රබල චෝදනා කිහිපයක්ම එල්ල කර තිබුණි. රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම, ජාතික බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක් කිරීම, ප්‍රසම්පාදන කටයුතු දූෂිත අන්දමින් හැසිරවීම මෙන්ම දූෂණ චෝදනා මත අධිකරණ ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමට සිදුවීම ඒ අතර ප්‍රධාන වේ. ආණ්ඩුවේ දූෂණ විරෝධී ජනවරම පාවාදෙමින් ජනතා සහ පාර්ලිමේන්තු විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි කරගෙන ඇති බැවින්, ඔහු තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීම මහජන යහපතට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කර තිබුණි. කෙසේ වෙතත්, ආනයනය කරන ලද ගල් අඟුරු තත්ත්වයෙන් බාල වුවද එහිදී කිසිදු දූෂණයක් සිදුව නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.
මේ අතර, ගල් අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගන්නා බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විවාදය අතරතුරදී අනාවරණය කළේය. ඒ අනුව 2019 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වා ඇති ගල් අඟුරු නෞකා 465ක් පිළිබඳව අදාළ කොමිසම මගින් කරුණු සොයා බැලීමට නියමිතය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා යම්කිසි වරදක් සිදු කර ඇත්නම් ඔහුටද, ඊට අමතරව වෙනත් පාර්ශවයක් වැරදි කර ඇත්නම් ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කරමින් බන්ධනාගාරගත වීමට සිදුවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



