the-dead-body-of-the-young-man-who-saw-the-police-while-selling-drugs-and-jumped-into-the-sea-floats

බේරුවල ධීවර වරාය තුළ ධීවරයින්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් වැටලීමක් දැක පළා යාමට උත්සාහ කිරීමේදී මුහුදට පැනීමෙන් අනතුරුව ජලයේ ගිලී මියගොස් තිබේ. බේරුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් සැරයන් උදයකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් 17 වන දා පස්වරු 3.00 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී ධීවර යාත්‍රා අතර සැඟවී සිටි මෙම සැකකරු, පොලිස් නිලධාරීන් දුටු වහාම යාත්‍රා පෙළ දිගේ දිවගොස් මුහුදට පැන පළාගොස් තිබුණි. වෙනත් බෝට්ටුවක් ආධාරයෙන් පොලිසිය ඔහුව සෙවීමට උත්සාහ කළද එම අවස්ථාවේදී ඔහුව සොයාගැනීමට හැකි වී නැත.




මෙලෙස පළායන අවස්ථාවේදී සැකකරු විසින් මුහුදට විසිකරන ලද මත්ද්‍රව්‍ය අඩංගු කුඩා බෑගයක් පොලිස් භාරයට ගෙන ඇත. එම බෑගයේ තිබී මිලිග්‍රෑම් 20 බැගින් වූ හෙරොයින් පැකට් 10ක් මෙන්ම මිලිග්‍රෑම් 1600 සහ 1770 වශයෙන් අඩංගු වූ අයිස් මත්ද්‍රව්‍ය සහිත ඉටි කවර දෙකක් ද සොයාගැනීමට නිලධාරීන්ට හැකි වී තිබේ.

පසුවදා, එනම් 18 වන දා පෙරවරු 7.30 ට පමණ මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේදී, එය පෙර දින මුහුදට පැන පළාගිය පුද්ගලයාගේ මළ සිරුර බවට හඳුනාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය, රවුම් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




ඔහුගේ මළ සිරුරේ කොට කලිසමේ සාක්කුවක තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 50,800ක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට අමතරව වතුරෙගම, ආඳාදොළ, ගායද්දර උද්‍යානයේ පදිංචි අයෙකුගේ නමට නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතක් ද ඒ සමඟ පොලිස් භාරයට ගෙන ඇත. බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

the-dead-body-of-the-young-man-who-saw-the-police-while-selling-drugs-and-jumped-into-the-sea-floats