ශ්‍රී ලාංකේය පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයකු මෙන්ම එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයේ (ගොඩගේ පොත් මැඳුර) නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අද (29) අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 90 වැනි වියේ පසුවිය.1936 වසරේ මැයි මස 19 වැනිදා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් පාලටුව නම් දුෂ්කර ගම්මානයේදී උපත ලැබූ ඔහු, සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක හයවැනි දරුවා විය. පාලටුවේ ගුණරතන මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම, පවුලේ පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවී වයස අවුරුදු 15 දී පමණ තම ගම්පියස හැරදා කළුතර ප්‍රදේශයට පැමිණියේය. එහිදී පොත් බඳින්නකු ලෙස රැකියාව ආරම්භ කළද හදිසියේම එම රැකියාව ඔහුට අහිමි වී ගියේය.
කෙසේ වෙතත් උත්සාහය අත්නොහළ ගොඩගේ තරුණයා 1957 වසරේදී කුඩා කඩකාමරයක් කුලියට ගෙන තවත් අයෙකු සමග එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස තම ගමන ආරම්භ කළේය. පොත්පත් බැඳීම සඳහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට නිතර ගිය ඔහුට එහිදී විද්‍යෝදය පිරිවෙනේ නායක හිමිපාණන් මෙන්ම අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන්ගේ සමීප ඇසුර ලැබීමට වාසනාව හිමි විය. එම ආශ්‍රය තුළින් බුදුදහම කෙරෙහි ඇති වූ දැඩි නැඹුරුව, පසුකාලීනව ගොඩගේ ආයතනයෙන් වටිනා බෞද්ධ සාහිත්‍ය කෘති රැසක් බිහිවීමට ද ප්‍රබල හේතුවක් විය.
ක්‍රමයෙන් සිය ව්‍යාපාරය දියුණු කරගනිමින් තවත් සේවකයන් කිහිපදෙනෙකු ද බඳවාගත් ඔහු, පුස්තකාල සඳහා පොත් සැපයීම ද ආරම්භ කළ අතර 1970 වසරේදී සිය ව්‍යාපාරික ස්ථානය කොළඹ මරදාන ප්‍රදේශයට රැගෙන ආවේය. අදටත් මරදානේ නොනැසී පවතින 'ගොඩගේ පොත් මැඳුර' ආරම්භ වන්නේ ඒ අනුවය. පොත් සඳහා පැවති ඉල්ලුම ඉහළ යාමත් සමගම ප්‍රකාශන ක්ෂේත්‍රයට ද අවතීර්ණ වූ ගොඩගේ මහතා මුලින්ම මුද්‍රණය කළේ ළමා කෘතියකි. ඉන් අනතුරුව විවිධ ලේඛකයන්ගේ අත්පිටපත් භාරගනිමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කරන මෙරට ප්‍රමුඛතම ආයතනයක් බවට එය පත් කිරීමට ඔහු සමත් විය.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ලේඛක පරපුරට ලබාදුන් අතිවිශාල දායකත්වය සහ සාහිත්‍ය ක්ෂේත්‍රයට කළ අමිල මෙහෙවර වෙනුවෙන් සිරිසුමන ගොඩගේ මහතා 2003 වසරේදී රජය විසින් 'දේශබන්දු' ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. එසේම පොත් ප්‍රකාශනය වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය වසර 38ක් පුරා අඛණ්ඩව දිනාගැනීමට ගොඩගේ ප්‍රකාශන ආයතනය සමත් වී ඇති අතර, එය රාජ්‍ය සම්මාන ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවකි. 2022 වසරේදී පමණක් ඔවුන් සම්මාන පහක් දිනාගත් අතර, සිංහල භාෂාවට අමතරව දෙමළ සහ ඉංග්‍රීසි කෘති මුද්‍රණය වෙනුවෙන් ද ඔවුන් රාජ්‍ය සම්මාන දිනාගැනීමට සමත් වී ඇත.
ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල සහ ගොඩගේ අත්පිටපත් තරගය හරහා නවක මෙන්ම ප්‍රවීණ ලේඛකයන් ඇගයීමට ලක් කරමින් ඔහු දැක්වූ දායකත්වය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රබෝධයක් ඇති කළේය. සිය බිරිඳ වන නන්දා ගොඩගේ මහත්මිය සමග එක්ව මෙම කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගිය ඒ මහතා, දුෂ්කර ගම්මානයකින් පැමිණ සිය අසීමිත කැපවීම තුළින් මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයේ මුදුන්පෙත්තටම ගමන් කළ ආදර්ශමත් මෙන්ම නිහතමානී ව්‍යාපාරිකයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
