ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ දැනට පවතින ගල් අඟුරු ගැටළුව හේතුවෙන් පැන නගින කිසිදු අමතර පිරිවැයක් ඉදිරි විදුලි ගාස්තු සංශෝධන හරහා විදුලි පාරිභෝගිකයින් මත පැටවීමට කටයුතු නොකරන බවයි.
ඔවුන් අද දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ගාස්තු සංශෝධන යෝජනා සලකා බැලීමේදී විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා දරනු ලබන සාධාරණ පිරිවැය පමණක් ගණනය කිරීම් සඳහා සැලකිල්ලට ගන්නා බවයි.
මීට පෙර සිදු කරන ලද ආසන්නතම විදුලි ගාස්තු සංශෝධනයේදී පවා ගල් අඟුරු අර්බුදයට අදාළ අමතර පිරිවැය හෝ වෙනත් කිසිදු අසාධාරණ වියදමක් තම කොමිසම විසින් අනුමත නොකළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඒ අනුව, ගල් අඟුරු තත්ත්වය මත ඇතිවන ඕනෑම අමතර පිරිවැයක් හෝ වෙනත් අසාධාරණ වියදම් අඛණ්ඩවම ඉදිරි විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලින් බැහැර කිරීමට කොමිසම ඒකමතිකව තීරණය කර ඇත.
විදුලි ගාස්තු නියම කිරීමේ ක්‍රියාවලියේදී අසාධාරණ යැයි සැලකෙන පිරිවැය මගින් පාරිභෝගිකයින් පීඩාවට පත් වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එම කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.



