දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර 23 වන කිලෝමීටර් කණුවට ආසන්න කළුතර උතුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැලණිගම අධිවේගී මාර්ග පොලිසිය සමත් වී තිබේ. පොලිස් රේඩියෝ රථයකින් මාතර දෙසට ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ නවතා තිබූ මෙම රථය නිරීක්ෂණය කර ඇති අතර, එහි සිටි පිරිසගෙන් කරුණු විමසීමේදී ඔවුන් දැක්වූ තැතිගැන්ම සහ සැකකටයුතු ඉරියව් හේතුවෙන් මෙම පරීක්ෂාව සිදු කර ඇත.
රථය තුළ අසුනක් මත තිබී අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන වීදුරු කැබැල්ලක් නිලධාරීන්ගේ නෙත ගැටීමත් සමඟ සැකකරුවන් එම ස්ථානයේදීම දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී එක් තරුණයෙකුගේ යට ඇඳුමේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් හයක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85ක් සොයාගනු ලැබූ අතර, තවදුරටත් සිදුකළ සෝදිසියේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී ජාවාරමෙන් උපයාගත් බවට විශ්වාස කෙරෙන රුපියල් 1,60,000කට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් මෙම තරුණයින් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර දැඩි ලෙස මත් වී සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වයස අවුරුදු 21 සහ 27 යන වයස්වල පසුවන මොවුන් බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කුලී පදනම මත ලබාගත් මෙම මෝටර් රථය භාවිත කරමින් ඔවුන් පුරුද්දක් ලෙස ගාල්ලේ සිට බිංගිරිය දක්වා අධිවේගී මාර්ගය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමේ යෙදී ඇති බවටද වැඩිදුර තොරතුරු හෙළි වී ඇත.
මෙම වැටලීම ගැලණිගම අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ සැරයන්වරුන් වන (33407) චන්දන, (40203) ජයසූරිය සහ (13516) රත්නසිරි යන නිලධාරීන් විසින් සිදු කර තිබේ. සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද මේ වන විට පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී රථවාහන ගැලණිගම පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මක කරයි.

