පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කොළඹ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයන් මහනුවර පොලිස් අශ්වාරෝහක අංශයට මාරු කර යැවීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ. උපසේවා සහකාර පොලිස් අධිකාරී (පශු වෛද්‍ය) මංජුල විජයකෝන් මහතා සඳහන් කරන පරිදි, මෙම තීරණයට අනුව මේ වන විටත් අශ්වයින් දෙදෙනෙකු කොළඹ සිට මහනුවර දක්වා පිටත් කර හැර ඇත.
මහනුවරට මාරු කර නොයැවූ කොළඹ රැඳී සිටින සෙසු අශ්වයින් අධික රස්නයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ද විශේෂ පියවර කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව ඔවුන් ලැගුම් ගන්නා කුටි තුළට මේ වන විටත් විදුලි පංකා සවි කිරීමට පියවර ගෙන ඇති අතර, දෛනිකව දෙතුන් වතාවක් ඔවුන්ව ස්නානය කරවීමට අවශ්‍ය පහසුකම් ද සලසා දී තිබේ. මීට අමතරව, අශ්වයින්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ඔවුන්ට අවශ්‍ය සිසිලස ලබා දීම සඳහා තවත් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන බවද වාර්තා වේ.
අශ්වයින්ට අමතරව පොලිස් නිල සුනඛයින් සම්බන්ධයෙන්ද මෙම කාලසීමාව තුළ විශේෂ අවධානයක් යොමු කර ඇත. පොලිස් සුනඛ අංශය භාර පශු වෛද්‍ය අමල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වයෙන් නිල සුනඛයන් බේරා ගැනීම අරමුණු කරගනිමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.

