chandimals-buriya-uda-banis-kee-competition-is-controversial

ගෙවීගිය සිංහල අවුරුද්ද නිමිත්තෙන් හෙළ චාරිත්‍ර විදි විකෘති කරන ලද අවුරුදු ක්‍රීඩා හඳුන්වාදෙමින් අවුරුදු උත්සවයක් පැවැත්වූයේ යයි ප්‍රකට නිරූපණ ශිල්පියෙකු හා සමාජ මාධ්‍ය පුවත්මවන්නෙකු වන චන්දිමාල් ජයසිංහ මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ. තමන්ගේ අවුරුදු කුමරා හා කුමරිය තෝරන තරගවලට එක්වූ තරුණ කණ්ඩායම් හා පියුමි හංසමාලි ඇතුළු ඔහුට හිතවත් නිරූපණ ශිල්පීන් සහභාගී කරගෙන පැවැත්වූ මෙම අවුරුදු උත්සවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වඩාත් විවේචන පැනනැගුනේ කාන්තාවන්ගේ බුරිය මත බනිස් කෑමට, කිරි බීමට ආදී ලෙස හඳුන්වාදී තිබූ අශීලාචාර තරග නිසාය.

මේ ගැන ප්‍රකට යූටියුබ් නාලිකාවකට පැමිණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා විවේචනයක් කර තිබූ අතරම තවත් නිළියක වන අනෝමා ජනාදරී ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කර ඇත. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුද්ද, මන්ද මානසික විකෘතීන්ගේ කෙළිමඩලක් බවට පත්වීමේ ඛේදවාචකයක් ලෙස සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්ව තිබේ. ජාතික උරුමයක් බඳු වූ අපේම ජන ක්‍රීඩා විකෘති කරමින්, පූජනීය වූ සංස්කෘතික අංගයන් හෑල්ලුවට ලක් කරමින් පවත්වන ලද මෙම උත්සවය ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කර තිබුනේ 'රාජකීය අවුරුදු උත්සවය' නමිනි. 

මේ හරහා නිර්මාණය වූ සංස්කෘතික විකෘතිය කාන්තාවන්ගේ නාභිය මත තබාගෙන බනිස් කෑම, ළදරු කිරි බෝතල් හරහා බියර් බීම මෙන්ම මත්පැන් පානය කරමින් දිවීමේ තරග වැනි අතිශය නින්දිත සහ විකාරරූපී අංග මෙම උත්සවයට ඇතුළත් කර තිබුණි. මෙය හුදෙක් විනෝදය උදෙසා කළ දෙයක් නොව, අනාගත පරපුරට අපේ උත්කෘෂ්ට සංස්කෘතිය පිළිබඳව වැරදි පූර්වාදර්ශයක් සපයන අශෝභන ක්‍රියාවක් බව මේ වන විට තහවුරු වී හමාරය.




මෙම සංස්කෘතික විනාශයට එරෙහිව ප්‍රථමයෙන්ම තම හඬ අවදි කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායකයි. ඇය සෘජුවම මෙම නොමනා ක්‍රියාවන් හෙළා දැකීමත් සමඟ සංගීතවේදී සරත් ද අල්විස් ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ මෙන්ම පොදු මහජනතාවගේ ද නොමඳ පැසසුම ඇයට හිමි විය. එහෙත්, පුදුමයකට මෙන් මෙහිදී දිල්හානිගේ නිර්භීත ප්‍රකාශයට පහර දෙමින් තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අනෝමා ජිනාදරී සමාජ මාධ්‍ය හරහා බරපතළ චෝදනාවක් එල්ල කළාය. 

හඳ පෙන්වූ විට ඇඟිල්ලේ ඇද සොයන්නාක් මෙන්, අනෝමා පවසා තිබුණේ චන්දිමාල්ගේ සංස්කෘතික විනාශයට වඩා දිල්හානිගේ රංගන ජීවිතයේ අඩුපාඩු බරපතළ බවයි. මෙය බොහෝ දෙනාගේ විමතියට කරුණක් වූ අතර, චරිත සියයකට වඩා රඟපා ඇති දිල්හානිගේ රංගන ප්‍රතිභාව අභියෝගයට ලක් කරමින් ගැටලුවේ සැබෑ අරමුණ යටපත් කිරීමට ඇය ගත් උත්සාහය බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

මේ අතර, නිවේදකයෙකු හා රංගන ශිල්පීයකු වන විශ්ව ලංකා ද මෙම අශෝභන හැසිරීම් දැඩිව විවේචනය කරමින් සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දුන්නේය. පංච කල්‍යාණයෙන් අගතැන්පත් යුවතියක් කිරුළු පැළඳූ 'අවුරුදු කුමරිය' තරගය වෙනුවට අඩ නිරුවතින් නටන කාන්තාවන් ප්‍රදර්ශනය කිරීමත්, මත්පැන් ප්‍රවර්ධනය වන අන්දමේ තරග සංවිධානය කිරීමත් හරහා කුඩා දරුවන්ට ලබා දෙන වැරදි ආදර්ශය ඔහු පෙන්වා දුන්නේ දැඩි කලකිරීමෙනි. අපගේ අනන්‍යතාව වන මේ උත්කෘෂ්ට සංස්කෘතිය ලෝකයම අගය කරද්දී, අපේම මිනිසුන් විසින් එය විනාශ කර දැමීම කොතරම් අභාග්‍යයක්දැයි ඔහු මතු කළේ සාධාරණ ප්‍රශ්නයකි.




තත්ත්වය මෙතරම් දුරදිග ගොස් තිබියදීත්, අදාළ බලධාරීන්ගේ නිහැඬියාව බලවත් ගැටලුවකි. වෙසක් සමයේ දන්සැල් පවත්වන ආකාරය නියාමනය කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් පවතින්නා සේම, ජාතික අවුරුදු උත්සව නාමයෙන් සිදුකරන මෙවැනි විකෘති ක්‍රියාකාරකම් නතර කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වහාම නීති සම්පාදනය කළ යුතුව ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අවධානය පවා යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වන පසුබිමක, වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒම හෝ අවම වශයෙන් ඔවුන් ලවා ප්‍රසිද්ධියේ සමාව ගැනීමක් හෝ සිදු කරවීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතුව තිබේ.

නිසි නියාමනයක් සහ දැඩි නීතිරීති ක්‍රියාත්මක නොවුණහොත්, තවත් වසර කිහිපයකින් අපගේ අනාගත පරපුරට සැබෑ සිංහල අලුත් අවුරුද්දක් වෙනුවට දැකගන්නට ලැබෙනු ඇත්තේ, සාරධර්ම පිරිහුණු හිස් මිනිසුන්ගේ නින්දිත මානසික විකෘතියක් පමණි.

gossiplanka image