the-land-given-by-chamal-to-a-filling-station-in-hambantota-is-returned-to-the-red-cross

හම්බන්තොට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය වෙත වෙන් කර තිබූ ඉඩම වෙනත් පාර්ශ්වයකට පැවරීමට බලධාරීන් ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ. ඒ අනුව, අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත යළි රතුකුරුස සමාජය වෙතම ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇත.




සිය සමාජ සේවා කටයුතු සඳහා අවශ්‍ය ආධාර මුදල් රැස්කර ගැනීමේ අරමුණින් හම්බන්තොට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට රතුකුරුස බලධාරීන් තීන්දු කර තිබූ අතර, එවකට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පර්චස් 65ක ඉඩමක් වෙන් කර දීමට අනුමැතිය ලබා දී තිබිණි. එහෙත් එම එකඟතාවය නොතකා පසුව බලධාරීන් විසින් එම ඉඩම මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම වෙත ලබාදීමට පියවර ගෙන තිබූ අතර රතුකුරුස සමාජය අධිකරණය හමුවට පැමිණියේ එම තීරණය නීති විරෝධී බව පවසමිනි.

මෙම අසාධාරණ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාගයට ගනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් හමුවේය. මෙහි වගඋත්තරකරුවන් ලෙස ඉඩම් කොමසාරිස්වරයා, මාර්ග සංවර්ධන අධිකාරිය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබුණි.




විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවේ දැක්වෙන්නේ, පෙත්සම්කාර ආයතනය අදාළ ඉඩම ලබාගැනීමේ පූර්ණ බලාපොරොත්තුවෙන් සිටි බවත් ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් මීට පෙර පොරොන්දුවක් ලැබී තිබූ බවත් පැහැදිලි වන බවයි. එවැනි තත්ත්වයක් තුළ රතුකුරුස සමාජය එම ඉඩම පිළිබඳ සියලු අපේක්ෂා තබා සිටියදී, එය වෙනත් ආයතනයකට පැවරීමට බලධාරීන් ගත් තීරණය නීති විරෝධී ක්‍රියාවක් බව අධිකරණය අවධාරණය කළේය.

මෙම නඩු විභාගය සඳහා පෙත්සම්කාර රතුකුරුස සමාජය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කරුණු ඉදිරිපත් කළේය. තවද, වගඋත්තරකාර නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.