ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සේවකයින් පිරිසක් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් හේතුවෙන් එම බැංකුවට රුපියල් බිලියන 13.2ක පමණ සැලකිය යුතු අලාභයක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙම වංචා සහගත ක්‍රියාව සම්බන්ධයෙන් මහ බැංකුව විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ මූල්‍ය අලාභය වාර්තා වුවද බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට හෝ තැන්පතුවලට ඉන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව ජාතික සංවර්ධන බැංකුව තහවුරු කර ඇති බවයි.
ජාතික සංවර්ධන බැංකුව ලබාදුන් තොරතුරු පදනම් කර ගනිමින් මහ බැංකුව විසින් මේ වන විට මූලික මූල්‍ය ඇගයීමක් සිදු කර ඇති අතර, අදාළ අලාභය හමුවේ වුවද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය සහ ද්‍රවශීලතාවය සම්බන්ධ දර්ශක අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇත. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම වෙනුවෙන් මහ බැංකුව මෙම තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඒ සඳහා සුදුසු පියවර ගැනීමට සූදානමින් සිටින බව ද අවධාරණය කෙරේ.
පවත්නා නීතිමය ප්‍රතිපාදන සහ ක්‍රමවේදයන් යටතේ යම් හෙයකින් අවශ්‍යතාවයක් මතු වුවහොත්, මහ බැංකුව සතු තාවකාලික ද්‍රවශීලතා පහසුකම් ලබා ගැනීමට ජාතික සංවර්ධන බැංකුවට අවස්ථාව පවතින බව ද නිල නිවේදනයේ දැක්වේ. බැංකු අභ්‍යන්තරයේ සිදුවූ මෙම දැවැන්ත වංචාව සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් බැංකුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මහ බැංකුවේ පූර්ණ අවධානය යොමුව පවතී.

