
පැය විසිහතරක් වැනි කෙටි කාලයක් තුළ ටොන් 2,500ක දැවැන්ත කොන්ක්‍රීට් පාලමක් නිශ්චිත ස්ථානයක ස්ථාපිත කරමින්, නූතන ඉංජිනේරු විද්‍යාවේ සීමාවන් නැවතත් අලුත් කිරීමට චීනය සමත් වී තිබේ.
පසුගිය අප්‍රේල් 14 වැනිදා චීනයේ සිචුවාන් පළාතේ ගුවාන්යුවාන් නගරයේදී මෙම අපූරු ක්‍රියාන්විතය සිදුවිය. එහිදී, සක්‍රීයව පවතින ප්‍රධාන දුම්රිය මාර්ගයක් යටින් පැවති පැරණි පටු බෝක්කුවක් සම්පූර්ණයෙන්ම ඉවත් කර, ඒ වෙනුවට කලින් නිපදවන ලද දැවැන්ත කොන්ක්‍රීට් ආකෘතියක් කඩිනමින් ස්ථාපනය කිරීම සිදු කෙරිණි.
වසර ගණනාවක් පුරාවට මෙම ස්ථානය ප්‍රදේශවාසීන්ට සහ රියදුරන්ට දැඩි හිසරදයක් ගෙන දුන් ස්ථානයක් විය. මීටර් දහයක් පමණක් පළලැති පැරණි පාලම හරහා එකවර ගමන් කළ හැකි වූයේ වාහන දෙකකට පමණක් වන අතර, එමගින් දිනපතා දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය. නමුත් නව ඉදිකිරීමත් සමඟ මෙම පටු මාර්ගය මංතීරු හතරකින් යුත් ද්විත්ව දිශානුගත පුළුල් මහාමාර්ගයක් බවට පත්වන අතර, දහස් ගණනක් වූ ජනතාවගේ දෛනික ගමන් බිමන් වඩාත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය හුදෙක් මාර්ග තදබදය අවම කිරීමක් පමණක්ම නොවේ. මෙය ඍජුවම ප්‍රදේශයේ ආර්ථිකය හා සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා දායක වේ. විශේෂයෙන්ම කිලෝමීටර තුනකට ආසන්න දිගකින් යුත් මධ්‍යම වනාන්තර සෞඛ්‍ය මාවත හරහා හෙයිෂි පො (Heishi Po) වනෝද්‍යානය වෙත සංචාරකයින්ට පහසුවෙන් ළඟාවීමට මෙමගින් අවස්ථාව සැලසේ. චීන දුම්රිය අටවන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, ටොන් 650ක් බරැති පැරණි පාලම ඇද ඉවත් කර, ඒ වෙනුවට ටොන් 2,500ක් බරැති නව පාලම යෝධ හයිඩ්‍රොලික් ජැක් පද්ධති මගින් තල්ලු කර ස්ථාපනය කිරීමේ නවීන තාක්ෂණය භාවිත කළ අතර, එය චීනය තුළ මෙලෙස සාර්ථකව අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.
දිනකට මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දහයකට වඩා ගමන් ගන්නා කලාපයේ ප්‍රධාන දුම්රිය මාර්ගයක් වන ගුවැන්ඩා (Guangda) මාර්ගය හරහා මෙම මෙහෙයුම දියත් කිරීම අතිශය අවදානම් සහගත එකක් විය. දුම්රිය ගමනාගමනය නතර කර තිබූ පැය විසිහතරක් වැනි කෙටි කාල කවුළුවක් තුළ මෙතරම් දැවැන්ත ව්‍යුහයක් කිසිදු දෝෂයකින් තොරව ස්ථාපනය කිරීමට සිදුවීම ඉංජිනේරුවන්ට එල්ල වූ දැවැන්ත අභියෝගයකි. එහිදී සුළු හෝ අත්වැරැද්දක් සිදුවූයේ නම්, කලාපයේ සමස්ත දුම්රිය ජාලයම දිගු කාලයකට අඩාල වීමේ දැඩි අවදානමක් ගැබ්ව තිබිණි.
අද වන විට නව පාලම මතුපිටින් දුම්රිය කිසිදු බාධාවකින් තොරව ගමන් කරද්දී, එම දැවැන්ත කොන්ක්‍රීට් ව්‍යුහය ලෝකය මවිත කරන 'චීන වේගයේ' (China Speed) සහ නොනවතින තාක්ෂණික විප්ලවයේ නිහඬ සාක්ෂිකරුවෙකු ලෙස අභිමානයෙන් නැඟී සිටී.

