central-banks-total-assets-up-109-percent

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කරන ලද 2025 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශනයට අනුව, එම වසර අවසන් වන විට මහ බැංකුව සතු සමස්ත වත්කම් ප්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. දෙදහස් විසිහතර (2024) වසර නිමා වන විට රුපියල් බිලියන 3,876.1ක් ලෙස සටහන්ව තිබූ මුළු වත්කම් ප්‍රමාණය, 2025 වසර අවසානයේදී රුපියල් බිලියන 4,298.4ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 422.4ක හෙවත් සියයට 10.9ක ඉහළ යාමක් බව එම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.




මෙම සුවිශේෂී වත්කම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපා ඇති බව පෙන්වා දෙන මහ බැංකුව, ඉන් දේශීය වත්කම් රුපියල් බිලියන 57කින් සහ විදේශීය වත්කම් රුපියල් බිලියන 365.4කින් ඉහළ ගොස් ඇති බව තහවුරු කරයි. විශේෂයෙන්ම විදේශ වත්කම් මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යාම කෙරෙහි මෙරට විදේශ විනිමය සංචිතවල සිදුවූ වර්ධනය සෘජුවම දායක වී තිබේ. ඒ අනුව, 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය 2025 වසර වන විට ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව, වසර ආරම්භයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 292.58ක් ලෙස පැවති විනිමය අනුපාතිකය වසර අවසන් වන විට රුපියල් 309.99ක් දක්වා අවප්‍රමාණය වීමද රුපියල් අගයෙන් දැක්වෙන මෙම වත්කම් ප්‍රමාණයන් ඉහළ යාමට එක් හේතුවක් වී තිබේ.

මේ අතර, විදේශීය මූල්‍ය නොවන වත්කම් ගණයට අයත් වන මහ බැංකුවේ රන් සංචිතවල වටිනාකමද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව අදාළ මූල්‍ය ප්‍රකාශනය මගින් පෙන්වා දෙයි. 2024 වසරේදී රුපියල් බිලියන 11.6ක පමණ අගයක (රුපියල් බිලියන 11,629,873ක අගයක) පැවති රන් වත්කම්, 2025 වසරේදී රුපියල් බිලියන 26.7ක් (රුපියල් බිලියන 26,705,749ක්) දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 15ක එනම් සියයට 129ක දැවැන්ත ප්‍රතිශතයකින් වූ ඉහළ යාමකි. ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, 2024 වසරේදී ඇමරිකානු ඩොලර් 2,624.01ක් ලෙස පැවති රන් ට්‍රෝයි අවුන්සයක මිල 2025 වසරේ දෙසැම්බර් 31 වන දින වන විට ඩොලර් 4,318.65ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර සිටියි.