the-guinness-record-of-22000-km-on-three-wheels

රෝද තුනේ වාහනයකින් කිලෝමීටර් 22,000කට වඩා දුරක් ගමන් කිරීම කෙබඳු අත්දැකීමක් වනු ඇත්ද?




බ්‍රිතාන්‍ය ජාතික 34 හැවිරිදි ඔලිවර් ජෙන්ක්ස් සහ කැනේඩියානු ජාතික 31 හැවිරිදි සෙත් ස්කොට් ලන්ඩනයේ සිට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර දක්වා රෝද තුනේ මෝටර් රථයකින් ගමන් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තේ අමුතු ආකාරයේ හැඟීමක් අත්විඳිමිනි. 'ෂීලා' (Sheila) ලෙස ආදරයෙන් නම් කර තිබූ පැරණි 'රිලයන්ට් රොබින්' (Reliant Robin) රථයකින් ලන්ඩනයේ සිට අප්‍රිකානු මහද්වීපය හරහා සැතපුම් 14,000ක් (කි.මී. 22,500ක්) පමණ දුරක් ගෙවාගොස් නිමකළ මෙම චාරිකාව, රෝද තුනේ රථයකින් ලොව ගමන් කළ දීර්ඝතම ගමන ලෙස ඉතිහාසයට එක්විය.

2025 වසරේ ඔක්තෝබර් 24 වැනිදා ඇරඹි මෙම ත්‍රාසජනක මෙන්ම අපූරු ගමන, යුරෝපය සහ අප්‍රිකාව යා කරමින් රටවල් විස්සකට අධික සංඛ්‍යාවක් හරහා මාස පහකට ආසන්න කාලයක් පුරා ඇදී ගියේය. අඩි හයකට වඩා උසැති මේ තරුණයන් දෙදෙනාට, 850cc එන්ජිමකින් යුතු ප්ලාස්ටික් සහ ෆයිබර්ග්ලාස්වලින් නිමවූ මෙම කුඩා රථය තුළ ගමන් කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවීය. බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය 'ඔන්ලි ෆූල්ස් ඇන්ඩ් හෝසස්' වැනි රූපවාහිනී වැඩසටහන් හරහා අතිශය ජනප්‍රිය වූ මෙම මාදිලියේ මෝටර් රථය, ඔවුන් දෙදෙනා විස්තර කළේ "මෝටරයක් සවිකළ කයාක් බෝට්ටුවක්" ලෙසිනි. අමතර ගමන් මලු දැමීමට වහලය මත සකස් කළ රාක්කයක් සහ අනුග්‍රාහක ස්ටිකර්වලින් හැඩවූ 'ෂීලා' නම් වූ මෙම කුඩා රථය, කාන්තාර සහ කැලෑ මැදින් ගමන් කළේ නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙමිනි.




කෙසේ වෙතත්, මේ අපූරු ගමන මල් අතුල මාවතක් නොවීය. 2026 ජනවාරි මාසයේදී කැමරූන් රාජ්‍යය හරහා කොංගෝ දේශසීමාව ආසන්නයෙන් ගමන් කරද්දී මහ හඬින් පුපුරා ගිය රථයේ එන්ජිමට විශාල හානියක් සිදුවිය. "හරියට කවුරුහරි වෙඩි තිබ්බා වගේ සද්දයක් ආවේ. ඒ මොහොතෙම අපි හිතුවා අපේ ගමන එතැනින්ම ඉවරයි කියලා," යනුවෙන් ඔලිවර් එම බිහිසුණු මොහොත සිහිපත් කළේය. පොලිස් නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් ගවයන් ප්‍රවාහනය කරන ට්‍රක් රථයකින් පැය නවයක අසීරු ගමනක් ගොස් දිවි ගලවා ගැනීමට ඔවුන්ට එහිදී සිදුවිය. නයිජීරියාවේදී විකට ඇඳුමින් සැරසුණු පිරිසක් මුදල් ඉල්ලා ඔවුන්ව වටකරද්දී මෙන්ම, කැමරූන්හි පැහැරගැනීම් බහුල කලාපයක් හරහා හමුදා ආරක්ෂාව මැද ගමන් කරද්දී ඔවුන්ගේ ධෛර්යය දැඩි ලෙස පරීක්ෂාවට ලක්විය. මීට අමතරව සෙල්සියස් අංශක 42ක් තරම් වූ දරාගත නොහැකි අධික උණුසුම, අබලන් මාර්ග සහ රථයේ තිබූ නිරන්තර කාර්මික දෝෂ ඔවුන්ගේ ගමන තවත් දුෂ්කර කළේය.

එහෙත්, ලොව පුරා රසිකයන්ගෙන් මේ වික්‍රමාන්විතයන් දෙදෙනාට ලැබුණු ආදරය අතිමහත්ය. අක්‍රිය වූ එන්ජිම වෙනුවට නව එන්ජිමක් ගෙන්වා ගැනීම සඳහා ඔවුන් ඇරඹූ අරමුදලට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ පවුම් 16,000කට අධික මුදලක් එක්රැස් වූයේ පන්සියයකට අධික පිරිසකගේ නොමසුරු දායකත්වයෙනි. ඒ සියලු බාධක මැඩගෙන 2026 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරට සේන්දු වූ ඔලිවර් සහ සෙත්, මෙම ගමන හරහා 'ස්කූල් ඉන් අ බෑග්' (School in a Bag) නම් පුණ්‍යායතනයට අරමුදල් රැස්කරමින් දුෂ්කර දරුවන්ගේ අධ්‍යාපනයට ද දැවැන්ත අත්වැලක් සැපයූහ. ගිනස් වාර්තාවකට හිමිකම් කීමට පෙරුම් පුරන ඔවුන්ට, මෙය සැබැවින්ම ජීවිතය වෙනස් කළ අත්දැකීමකි.



සිය අපූරු 'ෂීලා' මෝටර් රථය කේප්ටවුන් කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඔවුන් ආපසු හැරී යන්නේ, මිනිස් ධෛර්යය සහ පිස්සුවක් යැයි සිතෙන සිහිනයක් අතර ඇත්තේ ඉතා තුනී රේඛාවක් බව මුළු ලෝකයටම පෙන්වා දෙමිනි.

the-guinness-record-of-22000-km-on-three-wheels

the-guinness-record-of-22000-km-on-three-wheels

the-guinness-record-of-22000-km-on-three-wheels

the-guinness-record-of-22000-km-on-three-wheels

the-guinness-record-of-22000-km-on-three-wheels

the-guinness-record-of-22000-km-on-three-wheels