husband-remanded-for-withdrawing-money-from-wifes-account

විදේශ රැකියාවක නිරතව සිටි සිය නීත්‍යානුකූල බිරිඳගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කර ඇත. මෙලෙස අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වත්තල, අක්බාර් ටවුන් ප්‍රදේශයේ පදිංචිව සිටි සැමියෙකි. ඔහු වෙනත් කාන්තාවකගේ සහාය ලබාගනිමින් බැංකු නිලධාරීන් මුළාවට පත්කර මෙම මුදල් වංචාව සිදුකර තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.




අදාළ කාන්තාව විදේශගතව සේවය කරන කාලය තුළදී තමන් උපයාගත් මුදල් මෙරට පිහිටි සිය රාජ්‍ය බැංකු ගිණුමට අඛණ්ඩව බැර කර තිබේ. කාලයකට පසුව යළි දිවයිනට පැමිණි ඇය, සැමියාද කැටුව අදාළ බැංකුව වෙත ගොස් ගිණුම් වාර්තා පරීක්ෂා කර බැලීමේදී ගිණුමෙන් රුපියල් පන් ලක්ෂයක මුදලක් අතුරුදන්ව ඇති බව අනාවරණය කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් බැංකුව හරහා සිදුකළ අභ්‍යන්තර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මෙම සැමියා විසින් වෙනත් කාන්තාවක් බැංකුව වෙත කැඳවාගෙන විත් බැංකු නිලධාරීන් නොමඟ යවමින් අදාළ මුදල් ගිණුමෙන් ලබාගෙන ඇති බවයි.

මෙම මූල්‍ය වංචාව පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කිරිබත්ගොඩ පොලීසිය විසින් සිදුකරන ලදී. කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මෙන්ම විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ඩී. තිලකසිරි යන මහත්වරුන් එක්ව මෙය විමර්ශනය කර අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව නඩු මෙහෙයුම් අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071) සහ කුලසිංහ (10789) යන නිලධාරීන් විසින් සැකකාර සැමියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.