කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් භික්ෂූන් විසි දෙදෙනාගේ පැවිදිභාවය අහෝසි කර ඔවුන් සිවුරු හරණය කරවීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය තීරණය කර ඇත. මෙම පියවර සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනුවත් කිරීමට ත්‍රෛනිකාය කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණය කළේය.
පසුගිය විසි අට වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී මහා සංඝරත්නය මේ පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.අදාළ භික්ෂූන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අධිකරණ නඩු විභාගයේදී ඔවුන් නිවැරදි කරුවන් බවට තහවුරු වුවහොත් පමණක් නැවත පැවිදි දිවියට ඇතුළත් කර ගැනීම කෙරෙහි සලකා බැලිය හැකි බව නායක හිමිවරුන් මෙහිදී පෙන්වා දුන්හ. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුමැතිය පරිදි ඉදිරි දිනකදී මෙම සිවුරු හරණය කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. වත්මන් සමාජය තුළ පවතින විවිධ ප්‍රවණතා හමුවේ සංඝ සමාජයේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීම භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අත්‍යවශ්‍ය බවත් මහා සංඝරත්නය ජනාධිපතිවරයාට අවධාරණය කළහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික නායක හිමිවරුන් නිකුත් කර ඇති නිල නිවේදනය සමස්ත සංඝ සමාජයේම පොදු හඬ ලෙස සලකා කටයුතු කරන ලෙස මහා සංඝරත්නය රජයෙන් ඉල්ලා සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බවත්, මෙම සිදුවීම හරහා එහි බරපතලකම මනාව තහවුරු වන බවත්ය. ශාසනික විනය සුරැකීම සඳහා සංඝරත්නය ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට රජයේ පූර්ණ දායකත්වය ලබා දෙන බවද ඔහු සහතික කළේය.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමි සහ සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. එමෙන්ම මහවෙල ශ්‍රී රතනපාල, වෙලගෙදර ශ්‍රී සුමනජෝති, ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද, ආචාර්ය මුරුද්දෙණය ශ්‍රී ධම්මරතන, අත්තංගනේ රතනපාල, අත්තංගනේ ශාසනරතන සහ සුහදගම අනුරුද්ධ යන හිමිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි බලපිටියේ සිරිසීවලී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී අහංගම මෛත්‍රී මූර්ති යන ස්වාමීන් වහන්සේලාද ඇතුළුව මහා සංඝරත්නය රටේ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී තවදුරටත් පැහැදිලි කළහ.
