ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට එල්ල කළ සරල විහිළුවක්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම දෙදරුම් කන මට්ටමේ දේශපාලනික කුණාටුවක් දක්වා මේ වනවිට වර්ධනය වෙමින් පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු තමන්ව උපහාසයට ලක් කිරීම කිසිසේත්ම නොඉවසන නායකයෙකු බව රහසක් නොවුණද, ඔහුගේ පාලනාධිකාරිය මෙවර තම දේශපාලන බලය යොදාගනිමින් ඇමෙරිකාවේ ප්‍රබලතම මාධ්‍ය ආයතනයක් නිහඬ කිරීමේ පෙර නොවූ විරූ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම අර්බුදයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ප්‍රකට රූපවාහිනී නිවේදක ජිමී කිමෙල් විසින් පසුගිය අප්‍රේල් 23 වැනිදා සිය වැඩසටහන අතරතුර ජනාධිපති ආර්යාව ඉලක්ක කරමින් කළ ප්‍රකාශයයි. වොෂින්ටන් වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීමේ ඛේදවාචකයට යන්තම් පැය 24කට පෙර විකාශය වූ මෙම වැඩසටහනේදී, කිමෙල් උපහාසාත්මකව සඳහන් කළේ මෙලානියා ට්‍රම්ප් "බලාපොරොත්තු සහගත වැන්දඹුවකගේ" (expectant widow) ස්වභාවයක් ගන්නා බවයි. මෙම ද්විත්ව අර්ථයක් සහිත විහිළුවෙන් දැඩි කෝපයට පත් ට්‍රම්ප් යුවළ, කිමෙල්ව රැකියාවෙන් ඉවත් කරන ලෙස බලකළා පමණක් නොව, මේ වනවිට ඔහුගේ වැඩසටහන විකාශය වන ඒබීසී (ABC) නාලිකාවේ සහ එහි මව් සමාගම වන ඩිස්නි හි විකාශන බලපත්‍ර අහෝසි කිරීමට ද කටයුතු කරමින් සිටියි.
ඇමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) හරහා ක්‍රියාත්මක වන මෙම මර්දනය, මාධ්‍ය නිදහස පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇත. ජනාධිපතිවරයාට දැඩි හිතවත්කමක් දක්වන එම කොමිසමේ ප්‍රධානී බ්‍රෙන්ඩන් කාර්ගේ මැදිහත්වීම මත, ඩිස්නි සහ ඒබීසී ආයතනවල විකාශන බලපත්‍ර කල්තියා අලුත් කිරීමේ මුවාවෙන් දැඩි පරීක්ෂණයකට ලක් කිරීමට කොමිසම පියවර ගෙන තිබේ. මීට පෙරද රිපබ්ලිකන් ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක්ගේ ඝාතනයෙන් පසු කිමෙල් කළ විහිළුවක් හේතුවෙන් ඔහුගේ වැඩසටහන දින දහයකට අත්හිටුවීමට කාර් කටයුතු කළ අතර, ඉන් පෙනී යන්නේ රජය විවේචනය කරන මාධ්‍ය ආයතන වෙත මෙම බලපත්‍ර අවලංගු කිරීමේ තර්ජනය දිගින් දිගටම එල්ල වන බවයි.
මෙම දැඩි ප්‍රතිචාරය හමුවේ කිමෙල් සිය පුරුදු උපහාසාත්මක විලාසයෙන්ම පසුගිය සඳුදා යළිත් පිළිතුරු දුන්නේය. "උදෑසන අවදි වන විට ජනාධිපති ආර්යාව ඔබව රැකියාවෙන් එළවා දැමිය යුතු යැයි නිවේදනයක් නිකුත් කර ඇති විට දැනෙන හැඟීම ඔබ සියලු දෙනාම අත්විඳ තිබෙනවා නේද?" යැයි ඔහු සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඇසුවේය. එය හුදෙක් ට්‍රම්ප් යුවළගේ වයස් පරතරය පිළිබඳව කළ සරල විහිළුවක් මිස කිසිසේත්ම ඝාතනයක් සඳහා කළ පෙළඹවීමක් නොවන බව ඔහු අවධාරණය කළේය. පසුගිය සති අන්තයේ මෙලානියා මුහුණ දුන් ඛේදවාචකය සහ ඇගේ පීඩනය තමන්ට තේරුම් ගත හැකි බව පැවසූ කිමෙල්, ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීමේ කතිකාවත සිය සැමියාගෙන්ම ආරම්භ කරන ලෙසට ද ඇයට යෝජනා කළේය.
ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ බඳු වූ භාෂණයේ නිදහස සහතික කරන පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය (First Amendment) මෙම ක්‍රියාවලිය හරහා දැඩි අභියෝගයකට ලක්ව තිබේ. සන්නිවේදන කොමිසමේ සිටින එකම ඩිමොක්‍රටික් නියෝජිතවරිය වන ඇනා ගෝමස් පවසන්නේ, රජය විවේචනය කරන වැඩසටහන් පාලනය කිරීමට කොමිසමට කිසිදු ව්‍යවස්ථාපිත අයිතියක් නොමැති බවයි. මෙය නීතිවිරෝධී සහ පූර්වාදර්ශයක් නොමැති දේශපාලනික පළිගැනීමක් බවට ඇය කරන අනතුරු ඇඟවීම, සිදුවිය හැකි බරපතල ප්‍රජාතන්ත්‍රවාදී කඩාවැටීමක පෙරනිමිත්තකි. බලපත්‍රයක් අහෝසි වුවහොත් එය ඩිස්නි සමාගමට දැවැන්ත ආර්ථික පාඩුවක් මෙන්ම, සමස්ත මාධ්‍ය කර්මාන්තයටම එල්ල වන මරු පහරක් වනු නිසැකය.
එක් පුද්ගලයෙකුගේ හාස්‍යය තවත් කෙනෙකුගේ කෝපයට හේතු විය හැකි වුවද, රාජ්‍ය බලය යොදාගනිමින් සිනහවට විලංගු දැමීමට දරන මෙම උත්සාහය, ඇමෙරිකාව තවදුරටත් නිදහස් මතධාරීන්ගේ දේශයක්ද නැතහොත් බලය ඉදිරියේ නිහඬ විය යුතු රාජ්‍යයක්ද යන බරපතල ප්‍රශ්නය අනාගතයට ඉතිරි කර තිබේ.
