
වර්තමාන සමාජය කෘත්‍රිම බුද්ධිය (AI) මත දැඩි ලෙස රඳා පැවතීම අතිශය අවදානම් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත්, තාක්ෂණය භාවිත කිරීමේදී ජනතාව මීට වඩා දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් ඒහිපස්සිකෝ සාම පා ගමනට නායකත්වය ලබා දුන් වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අවධාරණය කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (28) කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති විශේෂ ධර්ම දේශනාවකට වැඩම කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පඤ්ඤාකර හිමියන් කෘත්‍රිම බුද්ධිය උපමා කරනු ලැබුවේ තියුණු ආයුධයකට හෙවත් පිහියකටය. එය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම ඵලදායී වුවද, නොසැලකිලිමත් ලෙස භාවිත කිරීම තුළින් බරපතළ හානි සිදුවිය හැකි බැවින් ඉතා කල්පනාකාරීව එය හැසිරවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. එසේම මිනිසුන් සිය ස්වාධීන චින්තන ශක්තිය පසෙකලා කෘත්‍රිම බුද්ධිය මතම යැපීමට හුරුවීම හේතුවෙන් මානව බුද්ධිය ක්‍රමානුකූලව හීන වී යන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.
විශේෂයෙන්ම වර්තමානයේ පාසල් සිසුන් ඇතුළු බොහෝ පිරිස් සිය අධ්‍යාපනික පැවරුම් සහ ලිපි ලේඛන සකස් කිරීම සඳහා පවා මෙම තාක්ෂණය යොදාගැනීමට පෙළඹී සිටිති. මේ හේතුවෙන් ඔවුන්ගේ ස්වාධීනව සිතීමේ හැකියාව මෙන්ම මතක ශක්තියද ගිලිහී යමින් පවතින බවත්, මෙම තත්ත්වය මෙලෙසම ඉදිරියටත් සිදුවුවහොත් අනාගතයේදී මිනිසාද රොබෝවරුන් බවට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බවත් උන්වහන්සේ කනස්සල්ල පළ කර සිටියහ.
තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු පවත්වාගෙන යාම සඳහා පවා ඇතැමුන් කෘත්‍රිම බුද්ධිය මත යැපීම දැඩි අවදානමක් බව පඤ්ඤාකර හිමියන්ගේ අදහසයි. එබැවින් තාක්ෂණයේ වහලෙකු බවට පත් නොවී, ඕනෑම ගැටලුවකට මුහුණ දීමේදී පළමුව තමන්ගේම මනස මෙහෙයවා ඒ පිළිබඳව සිතා බැලීමට ජනතාව පුරුදු විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ. කෙසේ වුවද නව තාක්ෂණය මුළුමනින්ම බැහැර කිරීමක් මින් අදහස් නොවන බවත්, එය අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් වගකීමෙන් යුක්තව භාවිතයට ගැනීම වැදගත් බවත් දේශනාවේදී අවධාරණය කෙරිණි.
මෙසේ තාක්ෂණයේ අහිතකර බලපෑම් පිළිබඳව සමාජය දැනුවත් කරන පඤ්ඤාකර හිමියන් යනු ගිහි කල තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළම තලයකට පැමිණ, අනතුරුව ඒ සියල්ල අතහැර දමා පැවිදි දිවියට ඇතුළත් වූ අයෙකි. වියට්නාමයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් උසස් අධ්‍යාපනය සහ රැකියාවක නිරත වූ උන්වහන්සේ, ඇමෙරිකාවේ ටෙක්සාස්හි ආලින්ටන් විද්‍යා ආයතනයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධියක් හිමිකරගෙන ඇත. පසුව මෝටරෝලා සමාගමේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකු වශයෙන්ද සේවය කර ඇති උන්වහන්සේට මෙම ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් ප්‍රායෝගික අවබෝධයක් පවතී.
