ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවීමට බංග්ලාදේශය ගත් තීරණය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ශකිබ් අල් හසන් පවසා ඇත්තේ එම පියවර එරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සිදු කළ විශාල හානියක් බවයි. බෙල්ජියමේ පැවති විශේෂ උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එවකට පැවති අන්තර්වාර රජය ගත් එම තීරණය ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාවන් කඩාකප්පල් කළ බරපතල වැරැද්දක් බවයි.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති ලෝක කුසලානයක් අහිමි කර ගැනීම ජාතියක් ලෙස බංග්ලාදේශයට සිදු වූ දැවැන්ත පසුබෑමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.වර්තමාන බංග්ලාදේශ කණ්ඩායමේ සංයුතිය පිළිබඳව සිය සතුට පළ කර ඇති ශකිබ්, කණ්ඩායම තුළ නවක හා ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ මනා සංකලනයක් පවතින බව පෙන්වා දෙයි. විශේෂයෙන්ම නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය පදනම් කර ගනිමින් ඔහු කියා සිටියේ මේ වන විට ක්‍රීඩකයන් තනි පුද්ගල දක්ෂතාවලට සීමා නොවී සාමූහිකව දක්ෂතා දැක්වීම අගය කළ යුතු බවයි. අනාගත බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉතා යහපත් පසුබිමක් නිර්මාණය වෙමින් පවතින බව පවසන ඔහු ඉදිරි කාලය තුළ කණ්ඩායම වඩාත් සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කරයි.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන ව්‍යුහය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳව ද ශකිබ් සිය ස්ථාවරය පැහැදිලි කළ අතර එහිදී තමීම් ඉක්බාල්ගේ මැදිහත්වීම කෙරෙහි සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීය. දැනට පිහිටුවා ඇති තාවකාලික කමිටුව හරහා විනිවිදභාවයකින් යුත් මැතිවරණයක් පැවැත්වීමට තමීම් කටයුතු කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරන අතර තමීම් වැනි දක්ෂ නායකයෙකු දිගුකාලීන පදනමක් මත පාලන පද්ධතියට එක්වන්නේ නම් එය ක්‍රීඩාවේ දියුණුවට මහත් පිටුවහලක් වන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ජාතික කණ්ඩායමෙන් බැහැරව සිටින මොසැඩැක් හුසේන් සයිකට් මෙවර ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අබානි කණ්ඩායමේ නායකත්ව වගකීම භාරගෙන තිබේ. ජාතික කණ්ඩායම තුළ තමන්ට හිමි වූ අවස්ථා අපේක්ෂිත අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ බව පිළිගත් ඔහු, ඉදිරියේදී දේශීය තරග පිටියේ දක්වන දක්ෂතා මත සිය ස්ථානය යළි තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය. තම කණ්ඩායම මේ වන විට දැඩි කැපවීමකින් පුහුණුවීම්වල නිරත වන බව පවසන ඔහු අනාගතයේදී යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
ලෝක පාපන්දු පිටියේ ද නව සංශෝධන රැසක් ඉදිරිපත් වී ඇති අතර 2026 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන්ට පනවන කාඩ්පත් තහනම් ලිහිල් කිරීමට ෆිෆා ආයතනය තීරණය කර ඇත. ඒ අනුව මූලික වටය අවසානයේදී සහ අර්ධ අවසන් පූර්ව වටය අවසානයේදී ක්‍රීඩකයන් ලබාගත් තනි කහ කාඩ්පත් වාර්තා මකා දැමෙනු ඇත. මෙමගින් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන්ට අවසන් පූර්ව සහ අවසන් මහා තරග අහිමි වීම වළක්වා ගැනීමට අවස්ථාව ලැබෙන අතර වඩාත් තරගකාරී මෙන්ම උද්යෝගිමත් ක්‍රීඩා විලාසයක් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වනු ඇති බව ෆිෆා කවුන්සිලය පෙන්වා දෙයි.
