the-patient-who-touched-the-chest-of-the-kalutara-hospital-doctor-while-watching-the-pressure-was-arrested

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු විසින් එම රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.




මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා මහගම, සමගිපුර, තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මතුගම පිඹුර රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කර එවන ලද අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් වාර්තා වලට අනුව මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ අදාළ වෛද්‍යවරිය විසින් සැකකාර රෝගියාගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.




එහිදී සැකකරු විසින් ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරමින් මෙම අශෝභන ක්‍රියාව සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන අතර, තමා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කරන බවට වෛද්‍යවරිය ඔහුට දැඩිව දන්වා සිටියදී පවා නැවත වරක් ඔහුව පරීක්ෂා කිරීමට යාමේදී සැකකරු දෙවන වරටත් ඇයට එම අතවරයම සිදුකර ඇති බව වාර්තා වේ.

මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් සැකකරු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේම තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඊයේ (15) දින ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ ඍජු උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.