ගුරුත්වාකර්ෂණය අභිබවා යමින් විශ්වය ජයගැනීමට සැරසෙන මිනිසාට මඟහැරිය නොහැකි එකම ස්වභාවික අවශ්‍යතාව කුමක්ද? ඒ අන් කිසිවක් නොව, තම මූලික ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ අභියෝගයයි.
1972 වසරේ ක්‍රියාත්මක වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු මිනිසුන් සහිතව සඳ වටා ගිය නාසා ආයතනයේ පළමු මෙහෙයුම වන 'ආටෙමිස් II' (Artemis II) අභ්‍යවකාශ යානය, පසුගිය අප්‍රේල් පළමුවැනිදා සාර්ථකව අභ්‍යවකාශගත වූවත්, එහි ගගනගාමීන්ට මුහුණ දීමට සිදුවූයේ සිතාගත නොහැකි ආකාරයේ අපහසුතාවකටයි. ඔරයන් (Orion) අභ්‍යවකාශ යානය තුළ වූ ඇමරිකානු ඩොලර් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් අතිනවීන අභ්‍යවකාශ වැසිකිළිය හෙවත් විශ්වීය අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය (UWMS) හදිසියේම ක්‍රියා විරහිත වීම, මෙම ඓතිහාසික ගමනට එක් කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කතාන්දරයකි.රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් යන සිව්දෙනාගෙන් සමන්විත කාර්ය මණ්ඩලයට දින දහයක මෙම ගමනේ පළමු පැය කිහිපය තුළදීම වැසිකිළි පද්ධතියේ දෝෂයක් සටහන් වන රතු එළියක් දැල්වෙනු දක්නට ලැබුණි. මුත්‍රා එකතු කරන පද්ධතියේ සිදුවූ මෙම හිරවීම හමුවේ පෙරමුණ ගත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිටපු ඉංජිනේරුවරියක වූ ක්‍රිස්ටිනා ය. පෘථිවියේ සිටින මෙහෙයුම් පාලකවරුන්ගේ පියවරෙන් පියවර උපදෙස් මත පැය හයක පමණ කාලයක් පුරා අලුත්වැඩියා කටයුතු සිදුකළ ඇය, එම දෝෂය තාවකාලිකව මඟහරවා ගනිමින් මෙහෙයුම් මැදිරියෙන් "අභ්‍යවකාශ ජලනල කාර්මිකයා" (space plumber) යන අපූරු අන්වර්ථ නාමයද දිනා ගත්තාය.
කෙසේ වෙතත් මෙම අකරතැබ්බය එතෙකින් නිමාවට පත් නොවීය. මෙහෙයුමේ තුන්වන සහ හතරවන දින වන විට තවත් බරපතළ ගැටලුවක් මතු වූයේ, අභ්‍යවකාශයේ පවතින අධික ශීතල හේතුවෙන් යානයෙන් පිටතට විවෘත වන මුත්‍රා නළය තුළ ඒවා මිදීමකට ලක්වීම නිසාවෙනි. මීට පිළියමක් ලෙස යානය හිරු දෙසට හැරවීමට පාලක මැදිරිය උපදෙස් දුන් අතර, හිරු රශ්මියෙන් නළය උණුසුම් කර අයිස් දියකර හැරීමට ඔවුහු යම්තාක් දුරකට සමත් වූහ. මෙතරම් දියුණු තාක්ෂණයක් පැවතියද, වැසිකිළිය අලුත්වැඩියා කරන තෙක් ඇපලෝ යුගයේදී මෙන් නැවතත් ප්ලාස්ටික් බෑග් (CCUs) භාවිතා කරමින් තම අවශ්‍යතා සපුරාගැනීමට ගගනගාමීන්ට සිදුවීම, අභ්‍යවකාශ ගමනක ඇති ප්‍රායෝගික දුෂ්කරතා මනාව කියාපාන්නකි.
පටු අභ්‍යවකාශ කුටියක් තුළ මෙවැනි පද්ධතියක් අක්‍රිය වීම සුළුකොට තැකිය හැක්කක් නොවේ. පද්ධතියෙන් වහනය වූ අද්භූත පිළිස්සෙන ගන්ධයත්, නිරන්තරයෙන් මතු වූ දෝෂත්, අනාගතයේ සිදුකිරීමට නියමිත ආටෙමිස් III වැනි දීර්ඝකාලීන සඳ තරණය කිරීමේ මෙහෙයුම් සඳහා විශාල අනතුරු ඇඟවීමක් සිදු කරයි. ගුරුත්වාකර්ෂණය නොමැති පරිසරයක් තුළ සනීපාරක්ෂාව පවත්වා ගැනීම ගගනගාමීන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට සෘජුවම බලපාන බැවින්, අභ්‍යවකාශ ජීව ආධාරක පද්ධතිවල විශ්වසනීයත්වය පිළිබඳව නාසා ආයතනයට නැවත වරක් ගැඹුරින් සිතා බැලීමට මෙම සිදුවීම බල කර තිබේ.
ඇපලෝ 13 මෙහෙයුම තැබූ දුර වාර්තා පවා බිඳහෙළමින් ආටෙමිස් II යානය අප්‍රේල් 10 වනදා නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියද, ඩොලර් බිලියන ගණනක අභ්‍යවකාශ වැඩසටහනක සාර්ථකත්වය රැඳී ඇත්තේ යානයේ රොකට් එන්ජිම මත පමණක් නොවන බව දැන් පැහැදිලිය. තරු පිරුණු විශ්වය ජයගැනීමට පෙර, මිනිසාට තම අභ්‍යවකාශ වැසිකිළිය නිසි ලෙස ජයගැනීමට තවමත් බොහෝ දුර යා යුතුව ඇති බව මෙම අපූරු මෙහෙයුම ලෝකයටම පෙන්වා දී අවසන්ය.

