before-the-year-we-are-gone---gmoa-is-on-strike-for-48-hours

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක කාලයක් පුරා අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.




මෙම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා එළඹීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තම සංගමය අතර ඇති කරගෙන තිබූ එකඟතා සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් අදාළ පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කිරීමයි.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව මීට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකටම අවතීර්ණ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම මත සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හෙට දිනයේදී විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබිණි.




එකී සාකච්ඡාව අවසන් වන තුරු මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව අත්හිටුවීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබූ පසුබිමක, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකවරම එම ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

යම් ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ ගන්නා අතරතුරදී පදනම් කරගත් අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කරමින් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනෙන් බැහැරව සිටින වකවානුවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි බවත් සංගමය පවසයි.



මේ සම්බන්ධයෙන් අද දින දීර්ඝ ලෙස සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇත්තේ, අදාළ ගැටලුකාරී ලැයිස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරගැනීමට බලධාරීන්ට හෙට උදෑසන 8.00 දක්වා කාලය ලබා දෙන බවයි.

එසේ වීමට අපොහොසත් වුවහොත්, එම වේලාවේ සිට ආරම්භ කරන දීප ව්‍යාප්ත වර්ජනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදුවන සියලුම පීඩාවන්හි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් විසින් අනිවාර්යයෙන්ම භාරගත යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.