auto-insurance-limits-the-loan-period

ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව රක්ෂණ සමාගම් මගින් වාහන හිමියන්ට ලබා දෙන රක්ෂණ ආවරණ ණය කාල සීමාව ලබන මැයි මස පළමු වැනිදා සිට දින 30ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව නියාමනය පිළිබඳව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.




මීට පෙර රථවාහන රක්ෂණය කිරීමේදී පාරිභෝගිකයින්ට දින 60ත් 90ත් අතර දීර්ඝ ණය සහන කාලයක් භුක්ති විඳීමට අවස්ථාව සැලසී තිබුණි. කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයත් සමග එම කාලය කප්පාදු වන අතර, අනාගතයේදී මෙම රක්ෂණ ණය ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති මෙන්ම යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම වෙනස සඳහා ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දේශීය රක්ෂණ කර්මාන්තය හැඩගැස්වීමේ අවශ්‍යතාවයයි. වඩාත් දියුණු රටවල වෙළෙඳපොළ තුළ රක්ෂණාවරණ නිකුත් කරනු ලබන්නේ ආවරණය ලබා දීමට පෙර අදාළ මුදල් අයකර ගැනීමේ පදනම මත බවත්, ශ්‍රී ලංකාවද ඉදිරියේදී එම ආකෘතිය කරා ගමන් කරමින් සිටින බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. රක්ෂණ කර්මාන්තය තුළ විනය තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.