
මින්නේරිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක රෝහල්ගත කර තිබේ. ඉකුත් 25 වැනිදා අදාළ පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අබියසදී මෙම නිලධාරීන් දෙදෙනා එකිනෙකාට පහර දෙමින් මෙම ගැටුම ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමට ප්‍රධාන වශයෙන් මුල් වී ඇත්තේ මූල්‍යමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් හටගත් මතභේදයකි. අදාළ කාන්තා පොලිස් කොස්තාපල්වරිය විසින් පොලිස් පරීක්ෂකවරයාගෙන් යම් ණය මුදලක් ලබාගෙන ඇති අතර, එය යළි පියවීම පැහැර හැරීම පිළිබඳව ඔහු විසින් ඇයගෙන් විමසීමක් කර ඇත. එහිදී දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක් සිදුවී ඇති අතර, එය පසුව මෙලෙස අතින් පයින් පහර දෙන තත්ත්වයක් දක්වා දුරදිග ගොස් තිබේ.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ, මින්නේරිය පොලිසියේ දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා ජයන්තිපුර රෝහලට ඇතුළත් කර ඇත. ඊට මැදි වූ පොලිස් කොස්තාපල්වරිය හිඟුරක්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී මෙලෙස අශෝභන අයුරින් හැසිරුණු මෙම නිලධාරීන් දෙදෙනාටම එරෙහිව මේ වනවිටත් උසස් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

