
මේෂ ලග්නය
ලැබුවා වූ අලුත් අවුරුද්දේ මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ, බුධ සහ ශනි සමඟ යෝගව 12 වැන්නේද; රවි සහ සිකුරු ලග්නගතවද; 3 වැන්නේ ගුරු සමරාශිගතවද; කේතු 5 වැන්නේද; රාහු සහ සඳු 11 වැන්නේ අයස්ථානගතවද පිහිටා සමඵල උදා කරයි.
ධනය: 2 වැන්න අධිපති සිකුරු ලග්නගතව රවි සමඟ යෝගව සිටින නිසා ධනය ලැබීම අතින් යහපත්ය. අතහැර දමා තිබූ ණය මුදලක් හෝ උරුම හිමිකමකින් මිල මුදලක් ලැබීමට ඉඩ ඇත. හදිසි ධන ලාභ ද ගෙන දිය හැකිය. (ඉලක්ක කරා ළඟා වේ).
ගෘහ ජීවිතය: 4 වැන්න අධිපති සඳු 11 වැන්නේ සිටින බැවින් පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව හිමි වේ. සඳු සහ රාහු 11 වැන්නේ සිටින බැවින් නව නිවසක වැඩ ආරම්භ කිරීමට හෝ පැරණි නිවසක් අලුත්වැඩියා කර ගැනීමට ඉඩ සැලසේ. දරුවන්ගේ දියුණුවට ද ශුභය.
රැකියාව: 10 වැන්න අධිපති ශනි 12 වැන්නේ සිටීම නිසා නව රැකියා අවස්ථාවලට තරමක් බාධා පවතින බව පෙන්වයි. එහෙත් ස්ථාන මාරු සඵල වේ.
සෞඛ්‍යය: ස්නායු සම්බන්ධ රෝග පීඩා, සෙම් අමාරු, කොන්දේ අමාරු සහ මුත්‍ර රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - ඉරිදා, අඟහරුවාදා | ශුභ වර්ණය - රතු, දම් | ශුභ අංක - 2, 5, 7
වෘෂභ ලග්නය
ලැබුවා වූ අලුත් අවුරුද්දේ ලග්නාධිපති සිකුරු රවි සමඟ යෝගව 12 වැන්නේද; 2 වැන්නේ ගුරුද; 4 වැන්නේ කේතුද; රාහු සහ සඳු 10 වැන්නේ කර්මස්ථානගතවද; කුජ, බුධ හා ශනි 11 වැන්නේ අයස්ථානගතවද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: ගුරු 2 වැන්නේ බුධගේ රාශියේ සිටින නිසා ධනය ලැබීම මධ්‍යස්ථ වේ. එහෙත් තැන්පත් ධනය බලාපොරොත්තු රහිත කරුණු නිසා වියදම් වී යාමට ඉඩ ඇත. දෙසැම්බර් දක්වා මිල මුදල් පරිහරණයේදී ඉතා සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතය: මුල් මාස කිහිපය ගෘහ ජීවිතයේ තරමක් බාධා කරදර ගෙන දුන්නද, අගෝස්තු මාසයෙන් පසුව තත්ත්වය යහපත් වේ. අලුත් මිත්‍රකම් ඇති කර ගැනීමටත්, නෑදෑ සබඳතා අලුත් වීමටත් මෙය ශුභ කාලයකි. දුර බැහැර වන්දනා ගමන් හෝ විනෝද චාරිකා යාමට අවස්ථාව හිමි වේ. විවාහ අපේක්ෂිත දූ දරුවන්ගේ කටයුතු සාර්ථක වන වසරකි. නව නිවාස ඉදිකිරීමට හෝ ඉඩකඩම් මිලදී ගැනීමට හැකි වේ.
රැකියාව: රැකියා ස්ථානයේ මත ගැටුම් සහ අස්ථාන චෝදනා එල්ල විය හැකි අතර, දුර බැහැර ප්‍රදේශවලට ස්ථාන මාරු ලැබීමට ඉඩ ඇත. කඩඉම් පරීක්ෂණ හා තරග විභාගවලින් ප්‍රතිඵල හීන විය හැකිය.
සෞඛ්‍යය: උදරාබාධ, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග හා සම දූෂ්‍ය වීමෙන් හටගන්නා රෝග කෙරෙහි සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, සිකුරාදා | ශුභ වර්ණය - සුදු, ක්‍රීම් | ශුභ අංක - 1, 4, 9
මිථුන ලග්නය
මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුධ 10 වැන්නේ කර්මස්ථානගතව කුජ සහ ශනි සමඟ යෝගවද; රවි උච්චව 11 වැන්නේ සිකුරු සමඟ යෝගවද; කේතු 3 වැන්නේද; 9 වැන්නේ රාහු සහ සඳු යෝගවද; ලග්නගතව ගුරු මිත්‍රවද පිහිටා ශුභඵල උදා කරයි.
ධනය: ධනය ලැබීම අතින් යහපත් වුවද වියදම් පාර්ශවය තරමක් ඉහළ යයි. නොසිතූ කරදර නිසා තැන්පත් ධනය හානි වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. සැලසුම් කළ පරිදි වැඩ අවසන් කිරීමට අපහසු විය හැකි අතර වෙළඳාමෙන් අලාභ ගෙන දිය හැකිය. ජූනි 2 න් පසුව ධන යෝග පවතී.
ගෘහ ජීවිතය: නිවසේ ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇති වේ. දානමය පින්කම් හෝ ධර්ම දේශනා පැවැත්වීමට අවස්ථාව උදා වේ. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමට ඉඩ ඇති අතර විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ප්‍රමාද විය හැකිය. (නිවෙසේ පුණ්‍යමය වැඩක්).
රැකියාව: ලග්නාධිපති බුධ කුජ සහ ශනිගේ පීඩාවට ලක්වන බැවින් රැකියාවේ කරදර මතු විය හැකිය. එහෙත් රවි 11 වැන්නේ උච්ච වීම නිසා එම කරදර ක්‍රමයෙන් දුරු වේ. ජූලි මාසයෙන් පසු රැකියාවේ දියුණුවට ශුභ වන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට වඩාත් යහපත් වේ.
සෞඛ්‍යය: බරපතළ රෝග ඇති නොවන නමුත් මුත්‍ර රෝග, මුත්‍ර ගල් සහ සෙම් රෝග පිළිබඳව ප්‍රවේශම් වන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, බ්‍රහස්පතින්දා | ශුභ වර්ණය - කොළ, කහ | ශුභ අංක - 1, 4, 5
කටක ලග්නය
කටක ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සඳු රාහු සමඟ යෝගව 8 වැන්නේද; කුජ, බුධ සහ ශනි 9 වැන්නේද; රවි උච්චව සිකුරු සමඟ යෝගව 10 වැන්නේද; 12 වැන්නේ ගුරු සමරාශිගතවද; 2 වැන්නේ කේතුද ගමනේ යෙදෙමින් ඔබට මිශ්‍රඵල උදා කරයි.
ධනය: 2 වැන්න අධිපති රවි 10 වැන්නේ උච්චව සිටින බැවින් මුදල් ලැබීම යහපත් වේ. කේතු 2 වැන්නේ සිටින නිසා දෙසැම්බර් 5 දක්වා මිල මුදල් සම්බන්ධ ගැටලු පැන නැගිය හැකි වුවත්, අනාගත ආයෝජනවලින් අධික ලාභ ලැබිය හැකිය.
ගෘහ ජීවිතය: වසරේ මුල් මාස කිහිපය දැඩි අවිවේකී වුවත්, ජූනි මාසයෙන් පසු තත්ත්වය සාමාන්‍ය අතට හැරේ. නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීමට යහපත්ය. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටත්, විදේශ ගමන් හෝ දුර බැහැර ගමන් යාමටත් අවස්ථාව ලැබේ. පවතින මානසික පීඩා වසර අගදී පහව යයි.
රැකියාව: රැකියාවේ දියුණුවට විශේෂයෙන් ශුභය. උසස්වීම් සහ තරග විභාගවලින් ජය ගත හැකිය. ප්‍රධානීන් සමඟ පැවති මතභේද දුරුවී රැකියාවේ උන්නතිය සඳහා පසුබිම සැකසේ. දියුණුව සඳහා ස්ථාන මාරු ද ලැබේ.
සෞඛ්‍යය: අක්මාගත රෝග, වකුගඩු ආශ්‍රිත රෝග සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පිළිබඳව සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - සඳුදා, සිකුරාදා | ශුභ වර්ණය - සුදු, කහ | ශුභ අංක - 2, 4, 7
සිංහ ලග්නය
සිංහ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති රවි, සිකුරු සමඟ යෝගව 9 වැන්නේද; කේතු ලග්නගතවද; රාහු සහ සඳු යෝගව 7 වැන්නේද; කුජ, බුධ හා ශනි 8 වැන්නේද; 11 වැන්නේ ගුරු මිත්‍රවද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: 2 වැන්න අධිපති බුධ 8 වැන්නේ සිටින නිසා ධනය ලැබුණද වියදම් අධික වේ. ආර්ථික තත්ත්වය යහපත් වන අතර ආයෝජනවලින් ලාභ වැඩි වේ.
ගෘහ ජීවිතය: ගෘහ ජීවිතය ඉතා යහපත් වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වන අතර ප්‍රේම සම්බන්ධතා ස්ථිර වේ. අඹු-සැමියන් අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුය. අපවාදවලට ලක්විය හැකි බැවින් ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වන්න. මවුපියන්ට ශුභ කාලයකි.
රැකියාව: 10 වැන්න අධිපති සිකුරු 9 වැන්නේ සිටින බැවින් රැකියාවේ දියුණුවට ශුභයි. ස්වයං රැකියා සහ ව්‍යාපාරවල නියුතු අයට ලාභ වැඩි වේ. විදේශගත වීමේ බලාපොරොත්තු බාධා මධ්‍යයේ ඉටු වේ.
සෞඛ්‍යය: කොන්දේ අමාරු, බඩේ අමාරු මෙන්ම හදිසි අනතුරු නිසා අත්පා බිඳීම් හෝ තුවාල ඇති විය හැකි බැවින් රිය පැදවීමේදී සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - ඉරිදා, බදාදා | ශුභ වර්ණය - රතු, දම් | ශුභ අංක - 1, 4, 9
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුධ කුජ සහ ශනි සමඟ යෝගව 7 වැන්නේද; 6 වැන්නේ රාහු සහ සඳුද; 8 වැන්නේ රවි සහ සිකුරු යෝගවද; 10 වැන්නේ ගුරු මිත්‍රවද; කේතු 12 වැන්නේද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: ධනය ලැබීම අතින් යහපත්ය. තමාගේම ව්‍යාපාරවලින් ලාභ ඉහළ යන නමුත් හවුල් ව්‍යාපාරවලදී මත ගැටුම් නිසා මුදල් පාලනයේ ගැටලු ඇති විය හැකිය. අමතර ආයෝජනවලින් අධික ලාභ ලැබේ.
ගෘහ ජීවිතය: මව් පාර්ශවයෙන් උදව් උපකාර හිමි වේ. නිවාස ඉදිකිරීමට හෝ අලුත්වැඩියා කිරීමට වෙහෙස වීමට සිදු වේ. විවාහ අපේක්ෂිතයන්ගේ අදහස් ඉටු වේ. ආගම දහමට නැඹුරුවක් ඇති වන අතර සැප්තැම්බර් මාසයෙන් පසු ඉලක්ක සපුරා ගත හැකිය.
රැකියාව: 10 වැන්නේ ගුරු මිත්‍රව සිටීම රැකියාවේ දියුණුවට ඉතා ශුභයි. ව්‍යාපාර සහ ස්වයං රැකියා කරන අයට පෙරට වඩා දියුණුවක් අත්කර ගත හැකිය.
සෞඛ්‍යය: ස්නායුගත රෝග, බඩ වියළීම, අර්ශස් සහ මුත්‍ර රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, සිකුරාදා | ශුභ වර්ණය - කොළ, කහ | ශුභ අංකය - 2, 4, 6
තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු රවි සමඟ යෝගව 7 වැන්නේද; 6 වැන්නේ බුධ, කුජ සහ ශනි බාධකස්ථානයේද; 5 වැන්නේ රාහු සහ සඳුද; 9 වැන්නේ ගුරු මිත්‍රවද; කේතු 11 වැන්නේද පිහිටා ශුභඵල උදා කරයි.
ධනය: ලැබෙන මුදල් ඉතා අරපරිස්සමින් වියදම් කිරීමටත්, ඉතිරි කිරීමටත් ඔබ දක්ෂ වේ. එහෙත් පොදු කටයුතුවලදී පෙන්වන ලෝබකම නිසා දෝෂාරෝපණයට ලක් විය හැකිය.
ගෘහ ජීවිතය: ඉතා යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට අවස්ථාව සැලසේ. පින්දහම් සහ පොදු කටයුතුවලදී කැපී පෙනෙනු ඇත. එහෙත් උරුම හිමිකම් සම්බන්ධ මතභේද නිසා පවුලේ අය අතර ගැටලු පැන නැගිය හැකිය.
රැකියාව: විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ. ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහ වගා කටයුතු ආශ්‍රිත ව්‍යාපාර සරු වේ.
සෞඛ්‍යය: මුත්‍ර ආසාදන, වකුගඩු හෝ මුත්‍ර මාර්ගයේ ගල් ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වෛද්‍ය උපදෙස් පතන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, සිකුරාදා | ශුභ වර්ණ - කොළ, ලා කහ | ශුභ අංක - 1, 4, 6
වෘශ්චික ලග්නය
ලග්නාධිපති කුජ, බුධ හා ශනි සමඟ යෝගව 5 වැන්නේද; රාහු සහ සඳු 4 වැන්නේද; 6 වැන්නේ රවි සහ සිකුරු යෝගවද; 8 වැන්නේ ගුරු මිත්‍රවද; 10 වැන්නේ කේතුද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: මිල මුදල් ලැබීම අතින් යහපත්ය. හදිසි ධන ලාභ, ලොතරැයි වාසනා සහ තරගවලින් ජය ලැබීමට හිමිකම ඇත. එහෙත් වියදම් ඉහළ යන බැවින් මුදල් පරිහරණයේදී කල්පනාකාරී වන්න.
ගෘහ ජීවිතය: පදිංචි ස්ථානය වෙනස් කිරීමට හෝ දුර බැහැර පදිංචියට යාමට සිත යොමු වේ. විදේශගත වීමට හිතවතුන්ගේ උපකාර ලැබේ. අසල්වැසියන් සමඟ කටයුතු කිරීමේදී සහ පවුල් ජීවිතයේ සමගිය රැක ගැනීමේදී සැලකිලිමත් වන්න.
රැකියාව: රැකියා ස්ථානයේ බාධා කරදර දෙසැම්බර් 5 දක්වා පැවතිය හැකිය. චෝදනා සහ අපවාද නිසා කලකිරීම් ඇති විය හැකිය.
සෞඛ්‍යය: සෙම් රෝග, රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පිළිබඳව අවධානය යොමු කරන්න. සමේ රෝග හෝ මුහුණේ කළු ලප ඇති විය හැකිය.
විශේෂ: ශුභ දිනය - අඟහරුවාදා, ඉරිදා | ශුභ වර්ණ - රතු, රෝස | ශුභ අංක - 1, 3, 6
ධනු ලග්නය
ලග්නාධිපති ගුරු 7 වැන්නේ මිත්‍රවද; රාහු සහ සඳු 3 වැන්නේද; කුජ, බුධ හා ශනි 4 වැන්නේද; 5 වැන්නේ රවි සහ සිකුරු යෝගවද; 9 වැන්නේ කේතුද පිහිටා සමඵල උදා කරයි.
ධනය: මුදල් ලැබීම අතින් යහපත් වසරකි. මැයි සිට නොවැම්බර් දක්වා කාලය ඉතා වාසිදායක වේ. වියදම් පාලනය කර ගැනීමට ඔබ උත්සාහවන්ත වන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු අයට වැඩි ලාභ හිමි වේ.
ගෘහ ජීවිතය: පවුලේ සමගිය රැක ගැනීමට ඉවසීම අවශ්‍ය වේ. 4 වැන්නේ ශනි මංගල යෝගය නිසා අඹු-සැමියන් අතර ප්‍රශ්න මතු විය හැකි වුවත්, ජූලි 5 න් පසු එය සමනය වේ. දූ දරුවන්ගේ අධ්‍යාපන දියුණුව දැක සතුටු විය හැකිය. අගෝස්තු මාසයෙන් පසු නිවසේ කටයුතුවලට ශුභයි.
රැකියාව: අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අයට ඉතා ශුභයි. උසස් අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය පාඨමාලා හැදෑරීමට හොඳ කාලයකි.
සෞඛ්‍යය: හෘද රෝග, සෙම් රෝග සහ ආමාශගත රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
විශේෂ: ශුභ දිනය - බ්‍රහස්පතින්දා, ඉරිදා | ශුභ වර්ණ - කහ, රන්වන් | ශුභ අංක - 4, 7, 8
මකර ලග්නය
ලග්නාධිපති ශනි 3 වැන්නේ කුජ සහ බුධ සමඟ යෝගවද; රාහු සහ සඳු 2 වැන්නේද; රවි සහ සිකුරු 4 වැන්නේද; 6 වැන්නේ ගුරු මිත්‍රවද; 8 වැන්නේ කේතුද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: ධනය ලැබුණද වියදම් නොසිතූ ලෙස ඉහළ යයි. තැන්පත් ධනය පවා වැය කිරීමට සිදු විය හැකිය. මැයි මාසයෙන් පසු තත්ත්වය යහපත් වන තෙක් මුදල් කළමනාකරණය ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතය: නව ආදර සම්බන්ධතා ගොඩනැගේ. දරුවන්ගේ හෝ සහෝදරයන්ගේ දියුණුව දැක සතුටු විය හැකිය. නිවසට අලුතෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. අවිවාහක තරුණ තරුණියන්ගේ සබඳතා ස්ථිර වේ.
රැකියාව: රැකියා ස්ථානයේ දියුණුවට සහ උසස්වීම් ලැබීමට හොඳ වසරකි. ස්වයං රැකියාවලට අගෝස්තු මාසයෙන් පසු ශුභ කාලය උදා වේ.
සෞඛ්‍යය: කොන්ද ආශ්‍රිත රෝග, අස්ථි රෝග, වාත අමාරු සහ පපුවේ සෙම බැඳීම පිළිබඳව අවධානය යොමු කරන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, සෙනසුරාදා | ශුභ වර්ණය - නිල්, දම් | ශුභ අංක - 3, 5, 9
කුම්භ ලග්නය
ලග්නාධිපති ශනි, කුජ සහ බුධ සමඟ යෝගව 2 වැන්නේද; රවි සහ සිකුරු 3 වැන්නේද; ගුරු 5 වැන්නේ මිත්‍රවද; කේතු 7 වැන්නේද; රාහු සහ සඳු ලග්නගතවද පිහිටා මධ්‍යස්ථ පල උදා කරයි.
ධනය: ශනි 2 වැන්නේ සිටීම ලැබීමට තරමක් බාධා කළත්, ගුරු 5 වැන්නේ සිටීම ශුභදායකය. පවුලේ වැඩිහිටියකුගේ රෝගාබාධයක් වෙනුවෙන් වැඩිපුර මුදල් වියදම් කිරීමට සිදු විය හැකිය.
ගෘහ ජීවිතය: ගමන් බිමන්වලදී සහ රිය පැදවීමේදී ඉතා පරෙස්සම් වන්න. සුළු කරුණටත් පවුලේ අය සමඟ මතභේද ඇති විය හැකිය. නිවසේ උත්සව හෝ මංගල අවස්ථා උදා විය හැකි අතර දරු සම්පත් බලාපොරොත්තු වන්නන්ගේ අදහස් ඉටු වේ.
රැකියාව: රැකියා සහ ව්‍යාපාරවලින් සාර්ථක දියුණුවක් ලබයි. ප්‍රධානීන්ගේ පැසසුම් හිමි වන අතර නව රැකියා අවස්ථා ද උදා වේ.
සෞඛ්‍යය: සෙම් රෝග, උගුරේ ආසාදන, දන්ත රෝග සහ සමේ රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - බ්‍රහස්පතින්දා, සිකුරාදා | ශුභ වර්ණය - නිල්, රඹවන් | ශුභ අංක - 4, 6, 8
මීන ලග්නය
ලග්නාධිපති ගුරු 4 වැන්නේ මිත්‍රවද; රවි සහ සිකුරු 2 වැන්නේද; කුජ, බුධ හා ශනි ලග්නගතවද; රාහු සහ සඳු 12 වැන්නේද; කේතු 6 වැන්නේද පිහිටා මිශ්‍රඵල උදා කරයි.
ධනය: හදිසි ධන ලාභ ලැබේ. වෙළඳාම් කටයුතුවලදී කැපවීමෙන් වැඩ කළහොත් වැඩි ලාභ ලැබිය හැකිය. නොසිතූ කරදර නිසා තැන්පත් ධනය වැය වුවද, වසර අගදී ආදායම් තත්ත්වය නැවත සරු වේ.
ගෘහ ජීවිතය: ගෘහ ජීවිතයට ඉතා යහපත්ය. නිවසේ වෙනස්කම් කිරීමට සහ අලුත් භාණ්ඩ මිලදී ගැනීමට හැකි වේ. නිවාස සිහිනය සැබෑ වන වසරකි. මැයි මාසයෙන් පසු පවුලට අලුත් සාමාජිකයන් එක්වීමට ඉඩ ඇත. මංගල යෝජනා ස්ථිර වේ.
රැකියාව: රැකියාවේ දියුණුවට යහපත් වුවද, ලග්න ඒරාෂ්ඨකය පවතින බැවින් වත්පිළිවෙත්වල යෙදීම ශුභයි. කම්මැලිකම නිසා වැඩ කල් දැමීමෙන් ප්‍රධානීන්ගේ දෝෂාරෝපණයට ලක් විය හැකිය.
සෞඛ්‍යය: පීනස් රෝග, සන්ධි රෝග සහ පාදවල නහර ගැටගැසීම වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන්න.
විශේෂ: ශුභ දිනය - බදාදා, සෙනසුරාදා | ශුභ වර්ණ - ලා නිල්, කහ | ශුභ අංක - 1, 3, 5
ජ්‍යොතිෂවේදී මාදුළුවාවේ නිහාල් අත්තිඩිය



