wimal-satyagraha-near-the-cid-until-saleh-is-released

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. දින අනූවකට අධිකරණ නියෝග මත රඳවා සිටින සලේ මහතා පාස්කු ප්‍රහාර සැලසුමේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ප්‍රශ්න කිරීමට ලක්කරමින් සිටියි.

නමුත් විමල් වීරවංශ පවසන්නේ කිසිදු විධිමත් අධිකරණ දැනුම්දීමකින් තොරව සලේ රඳවාගෙන සිටින බවත් ඒ මහතාට මේ වන විට රහස් පොලිසිය තුළ මීයන් දුවන වැසිකිලි ගඳ වහනය වන කාමර ලබාදී අමානුෂික ලෙස සලකමින් සිටින බවයි.




නීතිමය හා අධිකරණ කටයුත්තක් වන සලේ මහතා රඳවා ගැනීම 'දේශපාලන කෝණයෙන්' අර්ථ දක්වමින් විමල් වීරවංශ මෙහිදී චෝදනා කිහිපයක්ම නැගුවේ අවේගාත්මක ස්වරයෙනි.

රඳවා ගැනීමේ මුල් කාල සීමාව තුළ රහස් පොලිසියේ සාමාන්‍ය කාමරයක රඳවා සිටි සුරේෂ් සලෙයි මහතාව මේ වන විට දැඩි අපිරිසිදු සිරකුටියකට මාරු කර යවා ඇති බවත් පරීක්ෂණ මෙහෙයවන්නන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රකාශයක් ඔහුගෙන් ලබාගැනීමට නොහැකි වීම මෙම වෙනසට හේතුව බවත් පවසන වීරවංශ මහතා, නව සිරකුටිය මීයන්ගෙන් ගහන වූ එකක් බව ද සඳහන් කළේය. නිදාගැනීම සඳහා පැදුරක් හෝ ලබා දී නොමැති බැවින් දූවිලි සහිත පොළොව මත පුවත්පත් එලාගෙන ඔහුට රාත්‍රිය ගතකිරීමට සිදුව ඇති බවත්, කුටියට යාබදව පවතින අපිරිසිදු වැසිකිළියෙන් හමන දුර්ගන්ධය හේතුවෙන් ආහාර ගැනීමේදී වමනය යන තත්ත්වයක් පවා නිර්මාණය වී ඇති බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.




යුද සමයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එල්ල වීමට ගිය ප්‍රහාර රැසක් ව්‍යර්ථ කරමින් රටේ නීතිය, සාමය සහ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කැපවුණු මෙවැනි ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකුට මෙලෙස අවමන් සහගත අන්දමින් සැලකීම දැඩි ලෙස හෙළා දකින බව වීරවංශ මහතා අවධාරණය කළේය. බලධාරීන් සහ අදාළ නිලධාරීන් මෙම අමානුෂික පිළිවෙත හරහා උත්සාහ කරන්නේ සලෙයි මහතාට සිරකුටිය තුළදීම ජීවිතය එපා කරවා ඔහුව මරණයට පත් කිරීමේ තත්ත්වයකට ඇද දැමීමට බවටද ඔහු විසින් බරපතළ චෝදනාවක් එල්ල කරන ලදී.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් සලේට එල්ලවන චෝදනා ගැන වචනයක් හෝ කථා නොකිරීමට විමල් වීරවංශ මහතා වගබලාගත්තේය.



රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ බුද්ධි අංශ ප්‍රධානියෙකුගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට රහස් පොලිසියේ නිලධාරීන්ට සහ ඔවුන් මෙහෙයවන ඉහළ බලධාරීන්ට ඉඩදිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායකයා වැඩිදුරටත් කියා සිටි අතර ඒ අනුව, මෙම අසාධාරණයට එරෙහිව ඉදිරි දිනයකදී රහස් පොලිස් මූලස්ථානය අසලට ගොස් තමා සත්‍යග්‍රහයක් කරන බවත් එයට එක්රැස් වන ලෙසත්, එය හුදෙක් පැමිණ යාමක් නොව අඛණ්ඩව රැඳී සිටිමින් සිදුකරන විරෝධතාවක් බවට පත්කිරීමට එක්වන ලෙසත් ඔහු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.