ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් ගිලී ගොස් තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් නාවිකයින් 87 දෙනෙකු මියගොස් ඇති අතර, මෙය ගල්ෆ් කලාපයෙන් ඔබ්බට ඉන්දියන් සාගරය දක්වා ඇමරිකානු සහ ඉරාන ගැටුම් ව්‍යාප්ත වීමේ බරපතල සලකුණක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් මෙම නෞකාව ඉරානයට අයත් 'අයිරිස් ඩෙනා' (IRIS Dena) නමැති යුද නෞකාව බවට තහවුරු කර ඇති අතර, එය ඉන්දියාවේ නැගෙනහිර වරායක සිට යළි ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත.ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු තීරයේ ආරක්ෂිතව ගමන් කරන බව සිතා සිටි ඉරාන නෞකාව ටෝපිඩෝ ප්‍රහාරයක් මගින් නිහඬ මරණයකට ගොදුරු කළ බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පෙන්ටගනය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව, දැවැන්ත පිපිරීමකින් නෞකාවේ පසුපස කොටසට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, ඉන් අනතුරුව එය ක්‍රමයෙන් මුහුදේ ගිලී යන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. නෞකාවේ හැඩය සහ කුඹගස පිළිබඳව කළ නිරීක්ෂණ මගින් එය ඉරාන 'ඩෙනා' නෞකාව බවට තවදුරටත් සනාථ වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලද හදිසි ආපදා ඇමතුමකට වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ අදාළ මුහුදු ප්‍රදේශයට ළඟා වූ මුදාගැනීමේ කණ්ඩායම්වලට දැකගත හැකි වූයේ මුහුදේ පාවෙන තෙල් තට්ටුවක් පමණක් බවයි. කෙසේ වෙතත්, නාවික හමුදාව විසින් මුහුදේ පාවෙමින් සිටි නාවිකයින් 32 දෙනෙකු ජීවීතක්ෂයෙන් බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. අනතුරට ලක්වන විට නෞකාවේ 180 ක පමණ පිරිසක් සිට ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් 87 දෙනෙකුගේ සිරුරු මේ වන විට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනවිත් ඇත. තවත් 60 ක පමණ පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව බලධාරීන් පවසයි.
දිවි ගලවා ගත් පිරිස අතර නෞකාවේ අණදෙන නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද වන බවත්, තම නෞකාව සබ්මැරීන් ප්‍රහාරයකට ලක්වූ බව ඔවුන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ. මෙම 'අයිරිස් ඩෙනා' නෞකාව පසුගිය පෙබරවාරි 18 සිට 25 දක්වා බෙංගාල බොක්ක මුහුදු තීරයේදී ඉන්දියාව විසින් සංවිධානය කරන ලද 'මිලාන්' නමැති බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා සහභාගී වී තිබේ. පෙබරවාරි 17 වන දින ඉන්දියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින් මෙම ඉරාන නෞකාව විශාඛාපට්නම් වරායේදී හරසරින් යුතුව පිළිගනු ලැබූ බවට ඔවුන්ගේ නිල එක්ස් (X) ගිණුමේ සටහනක් ද තබා තිබුණි. එහෙත් නෞකාව ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු නාවික හමුදාව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.