the-two-police-officers-who-ordered-the-sand-tractor-to-stop-were-run-over

යාපනය කොඩිකාමම් හි කෙස්වේලි ප්‍රදේශයේදී නීතිවිරෝධී අන්දමින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් නැවැත්වීමට ක්‍රියා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ බිහිසුණු සිදුවීමක් වාර්තා වේ. මෙම සිදුවීමෙන් එක් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු සමග රාජකාරියේ නිරතව සිටි අනෙක් පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා තිබේ.

අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටර් රථයේ රියදුරා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත්, ඔහුව හඳුනාගෙන ඇති බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් දියත් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ලංකාදීපයට ප්‍රකාශ කර තිබුණි.




මෙම ඛේදනීය ඉරණමට මුහුණ පා ඇත්තේ නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පනස් හත් හැවිරිදි හෙට්ටිආරච්චිගේ ඇල්බට් (32881) නමැති පොලිස් සැරයන්වරයාය. සිද්ධියෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අනෙක් නිලධාරියා වන්නේ ප්‍රනාන්දු (96578) නමැති පොලිස් කොස්තාපල්වරයා වන අතර, ඔහු මේ වන විට චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියි.

කොඩිකාමම් ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ දෙකක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම නිලධාරීන් දෙදෙනා අදාළ ප්‍රදේශයට යොමු කර ඇත. එහිදී ඉදිරියට පැමිණි එක් ට්‍රැක්ටරයකට නැවත්වීමට සංඥා කළද, එය නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී එය නතර කර ගැනීමේ අරමුණින් එක් පොලිස් නිලධාරියෙකු සිය ටී-56 ස්වයංක්‍රීය ගිනි අවිය භාවිත කර ට්‍රැක්ටරයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇත. එහෙත්, සැකකාර රියදුරා ඉතා සාහසික ලෙස පොලිස් නිලධාරීන් සිටි දෙසට රථය කපා ඔවුන්වද යට කරමින් පොලිස් යතුරුපැදියටද දැඩි අලාභහානි සිදු කර පළා ගොස් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.




මේ අතර, නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන අනෙක් ට්‍රැක්ටරය අදාළ සිදුවීම වූ ස්ථානයට ආසන්න කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. එම ට්‍රැක්ටරයේ රියදුරාද මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පළා ගිය ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා කොඩිකාමම් පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.