the-passenger-died-after-falling-from-the-matara-bus-board

මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල, මස්සල, පන්සල පාරේ පදිංචිව සිටි 52 හැවිරිදි කෙරුවාගේ චන්දු කුමාර ප්‍රනාන්දු නැමැති අයෙකි.




පසුගිය 10 වැනිදා රාත්‍රී 10.00 ට පමණ කොළඹින් ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථයට, මියගිය පුද්ගලයා ගොඩවී ඇත්තේ මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ බේරුවල මස්සල හන්දියෙනි. ඔහු මාතර ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට යාමේ අරමුණින් මෙලෙස පැමිණ ඇති අතර, බසයේ පිටුපස දොරින් ගොඩවී පාපුවරුවේ ගමන් කරමින් සිටියදී මීටර් සියයක් පමණ දුරක් යාමේදී ගාලු පාරේ සමඩ් මාවත ආසන්නයේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන්ට වාඩිවීම සඳහා ප්‍රමාණවත් තරම් හිස් ආසන තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, පාපුවරුවේ ගමන් කරමින් සිටියදී ජංගම දුරකථනයකට පිළිතුරු ලබාදීමට යාමේදී සමබරතාවය ගිලිහී ගොස් ඔහු මෙලෙස බිමට ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.




මගියෙකු බස් රථයෙන් බිමට වැටුණු බවට එහි සිටි වෙනත් පුද්ගලයෙකු විසින් රියදුරුට සහ කොන්දොස්තරවරයාට දැනුම් දීමෙන් පසු, ඉදිරියට ගමන් කරමින් තිබූ බස් රථය හෙට්ටිමුල්ල හන්දියෙන් හරවාගෙන ගොස් බේරුවල පොලිසියට භාර කර තිබේ. අනතුරුව පොලිසිය මැදිහත් වී බසයේ සිටි අනෙකුත් මගීන්ට තම ගමනාන්ත කරා යාමට වෙනත් බස් රථ පහසුකම් සලසා දී ඇත. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිටි බව බේරුවල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු තහවුරු කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් 11 වැනිදා අලුයම 2.00 ට පමණ සිදු කරනු ලැබීය. වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට එහිදී නියෝග කෙරිණි. මේ වන විට රියදුරු සහ බස් රථය පොලිස් භාරයේ පවතින අතර, ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.