අරණායක ප්‍රාදේශීය රෝහලේ සේවය කළ තිස්පස් හැවිරිදි හෙද නිලධාරිනියකගේ ඝාතනයට හේතුව, මොට ආයුධයකින් ඇයගේ පපුවට ඇනීමෙන් සහ කැපීමෙන් අධික ලෙස රුධිරය වහනය වී සිදුවූ කම්පනය බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුචිර නදීර මහතා විසින් ඊයේ (03) සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම නිගමනයට එළඹ ඇති බව අරණායක පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුලින් අරණායක ගැවිලිපිටිය පන්සලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉලංගන්තිලක මොහොට්ටිගේ රුවිනි මදුෂිකා නැමැති එක්දරු මවකි. උස්සාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ වී සිටි ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ අධිකාරියකට අයත් ආයතනයක සේවය කරන අතර, ඔවුන් දෙදෙනා අතර කලක පටන් යම් අමනාපකම් පැවති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ හේතුවෙන් සැමියා ඉඳහිට නිවසට පැමිණ ගොස් ඇති අතර, ඝාතනයට ලක්වන සමයේදී ඇය සිය හත් හැවිරිදි පිරිමි දරුවා සමඟ අරණායක මාවතගොඩ දිප්පිටිය ප්‍රදේශයේ නිවසක තාවකාලිකව කුලී පදනම මත පදිංචිව සිට තිබේ.
මෙම වකවානුව තුළ මියගිය හෙද නිලධාරිනිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන මාවනැල්ල, උස්සාපිටිය නිකපිටිය ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි පුද්ගලයෙකු අතර යම් සමීප හිතවත්කමක් ගොඩනැගී තිබී ඇත. පසුගිය පළමුවැනිදා සවස සේවය නිමවා ඇය සිය තාවකාලික නිවසට පැමිණි අවස්ථාවේදී අදාළ පුද්ගලයා සමඟ යම් බහින්බස් වීමක් සිදුව තිබේ. එහිදී ඇතිවූ ආරවුල දුරදිග යාමෙන් අනතුරුව, රාත්‍රී 7.30 ට පමණ අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය දෙසට දිව යමින් සිටි ඇයව පසුපස ලුහුබැඳ ගොස් ඇති අදාළ හිතවත් පුද්ගලයා, මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටි හෙදියව ප්‍රදේශයේ අසල්වැසි කාන්තාවක විසින් දැක, සෙසු අයද දැනුවත් කර ත්‍රීරෝද රථයකින් අරණායක ප්‍රාදේශීය රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් රෝහල වෙත රැගෙන එන අවස්ථාව වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍ය රේණුකා ගුණපාල මහත්මිය විසින් තහවුරු කර ඇති අතර, ඒ බව දුරකථනයෙන් අරණායක පොලිසිය වෙත දැනුම් දීමටද කටයුතු කර තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සහ සහකාර පොලිස් අධිකාරි වසන්ත අලහකෝන් යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත, අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඒ සඳහා පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන්වරුන් වන අශෝක (33443), මාරසිංහ (22565), ලලිත් (42381), කුලසූරිය (60413), පොලිස් කොස්තාපල් බණ්ඩාර (96375) සහ කාන්තා පොලිස් කොස්තාපල් උදේශිකා (9149) යන නිලධාරීන් එක්ව සිටි අතර, කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිවංක දෙහිමඩු සහ උප පොලිස් පරීක්ෂක සිරිමාන්න යන මහත්වරුද ඊට සහාය වී ඇත.
පොලිස් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිෂේධා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් අපරාධය සිදුවූ ස්ථානයේ සහ රෝහලේදී මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසත් නියෝග කළාය. ඒ අනුව පසුගිය දෙවැනිදා අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් උස්සාපිටිය, නිකපිටිය ලක්සිරි නිවසේ පදිංචි හීන්වැල්ලේ ගෙදර මනෝජ් පැතුම් අකලංක නමැති සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
