talks-with-icc-to-change-the-administration-of-sri-lanka-cricket-institute---sports-minister

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා අනාවරණය කළේ, මෙම සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සෘජුවම මැදිහත්ව සිටින බවයි.

ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු පාලක කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකු පත් කිරීමේ සූදානමක් පවතින බවට ද ඔහු මෙහිදී ඉඟි පළ කළේය.




ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම සහ යළි ජයග්‍රාහී මාවතකට ගෙන ඒම සඳහා රජය විසින් මේ වන විටත් විශේෂ සැලසුමක් සකස් කර ඇති අතර එහි ඇතැම් කොටස් දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස සෘජුවම මැදිහත් වන බව අවධාරණය කළ ඒ මහතා, එය වෙනත් පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකුට පවරා බලා සිටිය නොහැකි බවත්, ක්‍රීඩාව සංවර්ධනය කිරීම රජයේ වගකීමක් ලෙස සලකා ඒ වෙනුවෙන් කැපවන බවත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ කෙරෙන සාකච්ඡා ද ඇතුළුව මේ සම්බන්ධයෙන් පියවර කිහිපයක්ම ගනිමින් සිටින බව වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යන අතරතුර එය සංවර්ධනය කළ යුතු බවත් ඔහු පැවසීය. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට රජය අනිවාර්යයෙන්ම මැදිහත් වන බව ද ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.




ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පවරන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා මට්ටමේ පවතින බවයි. ජනාධිපතිවරයාගේ ද සෘජු මැදිහත්වීම මත ඉදිරි සතියක් හෝ සති දෙකක් ඇතුළත මීට අදාළ සුදුසු ක්‍රමවේදයක් තීරණය කරන බව ඔහු පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාව කෙසේ හෝ ගොඩනැගිය යුතු බව රජයේ සහ ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය බව ද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.