sorry-neighbors-are-hit-only-if-they-hit-us---a-statement-from-the-president-of-iran

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුදමය තත්ත්වය අතරතුර අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති මස්වුද් පෙසෙෂ්කියන් සමාව අයැද සිටින අතර, එම රටවලින් ඉරානයට ප්‍රහාරයක් එල්ල නොවන්නේ නම් ඔවුන් ඉලක්ක කර ගනිමින් දියත් කරන ප්‍රහාර අත්හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.




සෙනසුරාදා දින ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අසල්වැසි රටවලට තවදුරටත් මිසයිල ප්‍රහාර එල්ල නොකිරීමේ තීරණය සඳහා ඉරාන තාවකාලික නායකත්ව මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානය කිසිම විටෙක සතුරන් හමුවේ යටත් නොවන බව අවධාරණය කළ හෙතෙම, ඉරාන ජනතාව යටත් වනු දැකීමේ සතුරන්ගේ අපේක්ෂාව ඔවුන්ගේ මිනීවළ දක්වාම රැගෙන යා යුතු බවද දැඩිව ප්‍රකාශ කර සිටියේය.

මෙම නව තීරණය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ, තම උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් ඉරානය විසින් සතියක පමණ කාලයක සිට කලාපය පුරා අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කරමින් පවතින පසුබිමකය. මෙම ප්‍රහාර හේතුවෙන් ඩුබායි, අබුඩාබි, කටාර්, කුවේට් සහ බහරේනය ඇතුළු ගල්ෆ් කලාපයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉන් සිදුවූ දැවැන්ත විනාශයන් දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.




මෙම යුදමය වාතාවරණය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව 'Operation Epic Fury' නමින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟිනි. දෙපාර්ශවය අතර පැවති න්‍යෂ්ටික සාකච්ඡා ඇනහිටීම සහ ඉරානය විසින් සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් යළි ආරම්භ කර ඇති බවට එල්ල වූ චෝදනා මෙම ප්‍රහාරය සඳහා මූලික වී ඇති අතර, අගනුවර වන ටෙහෙරානය ඇතුළු ප්‍රධාන ඉරාන නගර කිහිපයක්ම මෙම ගුවන් ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය.

ටෙහෙරානයේ පිහිටි ඉරාන උත්තරීතර නායකයාගේ නිල පරිශ්‍රයට එල්ල වූ මෙම ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයෙන් අයතුල්ලා කමේනි මෙන්ම ඔහුගේ දියණිය, බෑණා සහ මිණිබිරිය ද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. මීට අමතරව, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ ද පසුව මියගිය බව වාර්තා වේ.