අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින අනූවක රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හදිසියේම රෝහල්ගත කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ සලේ මහතාට දැඩි ලෙස වධහිංසා පමුණුවන බවත්, මීයන් ගැවසෙන අනාරක්ෂිත ස්ථානයක රඳවා ඔහුව රෝගී කර ජීවිතක්ෂයට පත් කිරීමට උත්සාහ ගන්නා බවත්ය.
එහෙත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද සොයාබැලීම්වලට අනුව අනාවරණය වන්නේ ඔහු රෝහල්ගත කර ඇත්තේ කනේ හටගත් ආසාදන තත්ත්වයක් හේතුවෙන් බවයි.දීර්ඝකාලීනව කන් ශුද්ධ නොකිරීමේ පුරුද්දක් නිසා හටගත් ගෙඩියක් උත්සන්න වීමෙන් ඇති වූ දැඩි වේදනාව මත වෛද්‍ය උපදෙස් පරිදි මෙම රෝහල්ගත කිරීම සිදු කර ඇත. විශේෂයෙන්ම, ඊයේ දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතාව පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී, තමන්ට එල්ල වන වධහිංසා හෝ ජීවිත තර්ජන පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ඔහු විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර නැත. සාමාන්‍යයෙන් සැකකරුවෙකුට තමන්ගේ අයිතිවාසිකම් කඩවන්නේ නම් ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමේ සම්පූර්ණ අයිතිය පවතින අතර, ප්‍රතිකාරවලින් අනතුරුව ඔහුව යළිත් සුපුරුදු පරිදි ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ඒමට නියමිතව තිබේ.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ප්‍රහාරකයින් සහ ඔවුන්ට සහාය දුන් පුද්ගලයින් භාවිත කළ ඇතැම් දුරකථන සිම්පත් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට දුරකථන සමාගම්වලට පවා නොහැකි වන පරිදි ඉතා රහසිගත තාක්ෂණික ක්‍රමවේදයක් යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අතීතයේදී තාජුදීන් ඝාතන සිද්ධියේ පරීක්ෂණ මෙහෙයවූ ශානි අබේසේකර මහතාටද දුරකථන දත්ත ලබාගැනීමේදී මෙවැනිම බාධාවලට මුහුණ දීමට සිදුවූ අතර, එවකට ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම මත එම තොරතුරු ලබාගැනීමට හැකි විය.
සාමාන්‍යයෙන් බුද්ධි මෙහෙයුම්වලදී මෙවැනි හඳුනාගැනීමට අපහසු රහසිගත ක්‍රමවේද භාවිත කිරීම සුලභ තත්ත්වයකි. කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල තුන්වන සැකකරු ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව නම් කර ඇත්තේ බරපතළ චෝදනා කිහිපයක් මුල්කරගෙනය. අදාළ සැකකරුවන් සමඟ ගනුදෙනු කිරීම, පරීක්ෂණවලට බලපෑම් කිරීම සහ විශේෂයෙන්ම සාරා ජැස්මින්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව අවස්ථා තුනකදී ලබාගැනීම යන කරුණු ඒ අතර ප්‍රධාන වේ.

