president-anura-has-no-understanding-in-this-matter---call-the-former-presidents-soon

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොහොට්ටුවේ කැපී පෙනෙන නායක ජානක තිස්සකුට්ටිආරච්චි මෙසේ කියා තිබේ.

"ජනාධිපතිතුමාට මේ යුද්ධය සම්බන්ධයෙන් වැටහීමක් නෑ. කරුණාකර හිටපු ජනාධිපතිවරුන් කැඳවන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්නවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉන්නවා. ජනාධිපතිවරුන් පස් දෙනාම එකතුවෙලා මාතෘ භූමියේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේක.





බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන මොහොතක්, කට්ට කමින් වැඩ කරන්න ඕන මොහොතක් මේක. මේ වෙලාවේ "රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව බංකුවක් අරගෙන එන්න උගන්වන්නම්" කියලා ආපු කණ්ඩායමට වුණු මුල්ම දේ තමයි රටේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වීම. ඒ වගේම ලෝකයේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවක හැසිරෙන්න ඕන විදිහට නෙවෙයි මේ කණ්ඩායම හැසිරෙන්නේ. මේ සම්බන්ධව මටත් වඩා ඉතාම හොඳට නාමල් රාජපක්ෂ මැතිතුමා මේ වෙලාවේ කණ්ඩායමක් ගෙන්වාගෙන, ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් ඊයේ ඉඳලා වගකීමෙන් කටයුතු කරනවා. ඒ වගේමයි, ජාත්‍යන්තරය හොඳටම ජයගත්තු ජනාධිපතිවරයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාත් ඊයේ හවස ඉඳලා මේ සම්බන්ධව කටයුතු කරනවා. මොකද මාතෘ භූමියට යම් ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා නම්, මේ වෙලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකද වෙන කෙනෙක්ද කියන කාරණාව නෙමෙයි අපිට වැදගත් වෙන්නෙ.




මේ වෙලාවේ වැදගත් වෙන්නේ මාතෘභූමියේ සුරක්ෂිතභාවය සහ සාමයයි. යුදමය තත්ත්වයකදී එක් පැත්තක්වත් අපිට ගන්න පුළුවන් තරමේ ශක්තිමත් රටක් නෙමෙයි අපි. ඒ නිසා අපිට තියෙන්නේ ඉතා උපක්‍රමශීලීව කටයුතු කිරීමයි. මේක පුංචි ප්‍රශ්නයක් නෙමෙයි. මං ඒකයි කිව්වේ, "රාජ්‍ය ආරක්ෂාව ගැන බංකුවක් අරගෙන එන්න උගන්වන්න ඕනේ" කියපු කණ්ඩායම අද අපේ මුහුදු සීමාවට අයත් ප්‍රදේශයේදී තවත් රටක නැවකට වෙනත් රටකින් පහරදෙන තැනට පත්වෙලා. ඊළඟට තමයි මං දැක්කා මේ සම්බන්ධව ඇතුළත තියෙන ප්‍රධාන ප්‍රශ්නය; ඒ නැවේ හිටපු කණ්ඩායම බේරා ගැනීම. ඒක ඇමරිකාව මොන විදියට දකීද, ඊට ප්‍රතිවිරුද්ධ රටවල් මොන විදිහට දකීද කියන තැනටත් අද පත් වෙලා. මේක සාමාන්‍යයෙන් සරලව ගන්න ඕන කාරණාවක් නෙමෙයි. මේ රටේ සුරක්ෂිතභාවය පිළිබඳව දැඩි වගකීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක් මේක. ඒක මේ ආණ්ඩුවෙන් වෙයිද කියන සැකය තමයි අපිට තියෙන්නේ.

මොකද ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් වැටහීමක් නෑ. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ලේකම්වරයාට වැටහීමක් නෑ. ආරක්ෂක අමාත්‍යවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරයාට මේ සම්බන්ධව වැටහීමක් නෑ. අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වගකීමක් නෑ. මාධ්‍යවලට ඇවිල්ලා කරන ප්‍රකාශවලින් ඒක අපිට පේනවා. සමහරුන්ට මේක සෙල්ලමක්. අපේ රට ඇතුළේ යුද්ධයක් තිබුණු වෙලාවෙත් මීට වැඩිය වගකීමෙන්, සුරක්ෂිත භාවයෙන් අපි කටයුතු කළා. මේක ලෝක යුදමය තත්ත්වයකට යන වෙලාවක්. ඒ නිසා කරුණාකරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මතක් කරන්නේ, ඔබට තියෙන නොහැකියාව සහ අත්දැකීම් නොමැතිකම නිසා රට ඇතුළේ වරද්ද ගත්තට කමක් නෑ, හැබැයි ලෝකය ඉදිරියේ වෙනත් රටවල් එක්ක පැටලෙන්න එපා.



ඒ නිසා කරුණාකර හිටපු ජනාධිපතිවරුන් කැඳවන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්නවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉන්නවා. කරුණාකරලා මේ ජනාධිපතිවරුන් 4 දෙනාම තමන් ළඟට ගෙන්වාගෙන හෝ වෙන පොදු ස්ථානයකට එකතුවෙලා, වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු ජනාධිපතිවරුන් පස් දෙනාම එකතු වෙලා අනිත් දේශපාලනය පැත්තකින් තියන්න. ජනාධිපතිවරුන් පස් දෙනාම එකතුවෙලා මාතෘ භූමියේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන්න ඕන මොහොතක් මේක. අපි ජනාධිපතිතුමාට යෝජනා කරන කරුණ තමයි, තනියෙන් මේ වැඩේ ඔබතුමාට කරන්න බැහැ.

දැන් ෆේල් කියලා අපි දන්නවා. ද්විත්ව කුණාටුව ආපු වෙලාවේ මේ ප්‍රදේශවල ප්‍රශ්න ටික විසඳගන්න බැරි වෙච්ච ජනාධිපතිවරයා දැන් මේ ප්‍රදේශවලට යනකොට අපිට පේනවා, රුපියල් පනස් දාහක් දෙනවයි කිව්ව ගෙවල්වලට රුපියල් විසිපන්දාහයි බැඳලා තියෙන්නේ. දැන් මේ තලාව ප්‍රාදේශීය බලප්‍රදේශයට මිලියන විසි එකක මුදලක් එනකොට, ඒ කටයුතු සඳහා මිලියන දහයක් දාලා තමයි තාම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතුරු සල්ලි ආවාද ගියාද?

කොහොම කළමනාකරණය කරනවාද කියලා දන්නේ නෑ. මං මේ ගම්මානවල ඇවිදිනකොට කුඹුරුවලට වැලි ඇවිල්ලා තියෙනවා, පස් ටික ඇවිල්ලා තියෙනවා. ඒවා අස් කරන ක්‍රමවේදයක් නෑ. පස් ටික අස් කරන ක්‍රමවේදයක් නැති නිසා, අඩු තරමේ ද්විත්ව කුණාටුවෙන් ගහගෙන ගියපු පාලමක් හදාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්, කඩාගෙන ගියපු එක පාරක් හදාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් මේක. කොන්ක්‍රීට් සංස්කෘතිය අපි ගෙනාවා. වැලිකොට්ට සංස්කෘතිය ඒ ගොල්ලො ගෙනාවේ. එතකොට අපි ගියේ දියුණු යුගයකට, මේගොල්ලෝ වර්තමානයේ යන්නේ ගල් යුගයකට. එහෙම ආණ්ඩුවක ජනාධිපතිවරයෙක්, එහෙම ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයෙක්, එහෙම ආණ්ඩුවක් ගැන අද රටේ ජනතාවට විශ්වාසයක් නෑ.

ඉස්සර යුද්ධෙ නම් ප්‍රභාකරන්ගේ කුරුම්බැට්ටියක් (කුඩා ගුවන් යානයක්) තමයි අපේ රටේ කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්දිරයටයි පාර්ලිමේන්තුවටයි ගියේ. හැබැයි අද කිලෝමීටර් දහස් ගණනක් ඈත දුර රටකට වුණත් ඇටෑක් කරන්න පුළුවන්. ඒක තමයි අලුත් තාක්ෂණය. ඒ නිසා අපේ රට ගැන හොයන්නවත් හිතන්නවත් දෙයක් නෑ. තරහ වුණා නම් ඇමරිකාව හෝ ඒ ආශ්‍රිත රටක් එක තැනක එක ස්විච් එකක් ඔබන්න ඕනේ, මුළු රටම ඉවරයි. එවැනි තත්ත්වයක් තියෙන වෙලාවේ මීට වැඩිය වගකීමෙන්, සුරක්ෂිතව කටයුතු කරන්න කියන ඉල්ලීම, පුරවැසියෙක් විදිහට මේ අහිංසක ජනතාව පිරිවරාගෙන වැඳලා ඔබතුමාගෙන් අපි ඉල්ලනවා.

ඒ වගේම තමයි රටේ ජනතාවට මතක් කරන්න ඕන, වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන කතා ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නෑ, එතුමා ඉන්නේ දැඩි මානසික ආතතියකින්. ඒ නිසා අපිට බයක් තියෙනවා. එතුමාගේ දැඩි මානසික ආතතිය නිසා ගන්නාවූ තීන්දු තීරණ නිවැරදිද කියන ප්‍රශ්නය අද වෙනකොට අපිට තියෙනවා. ඒක පළපුරුද්ද නැතිකම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඇතිවෙලා තියෙන තත්ත්වයක්.

ඒ නිසා මේ ජනාධිපතිවරයා දැන් හැසිරෙන විදිහ, කතා කරන විදිහ තුළ, ඒ දැඩි මානසික ආතතිය නිසා අපේ රටට හිතකර තීන්දු තීරණ ගනීවිදෝ කියන සැකය රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ ඔබතුමාට තනියෙන් දැන් මේ වෙලාවේ තීන්දු ගන්න පුළුවන් මානසිකත්වයකින් ඔබතුමා ඉන්නවා කියලා. ඒ නිසා කරුණාකරලා සාමූහිකව කතා කරලා රට වෙනුවෙන් තීන්දු ගමු. මාතෘභූමිය වෙනුවෙන් ඕන වෙලාවක අපිට එන්න කියන්න. මේ රටේ පොළොවේ පයගහලා දේශපාලනය කරන, ජනතාවත් එක්ක ඉන්න දේශපාලඥයෝ විදිහට, මාතෘභූමියට ආදරය කරන, රටට, ජාතියට, ආගමට, සංස්කෘතියට ආදරය කරන පුරවැසියෝ විදිහට, අපි ඕන වෙලාවක ඕන තැනකට ඇවිල්ලා ඔබතුමාට රට බේරගන්න ඕනෑම සහයෝගයක් කොන්දේසි විරහිතව ලබාදෙන්න සූදානම් කියන කාරණාව මතක් කරනවා."