ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන 'Operation Epic Fury' මෙහෙයුමට සමගාමීව බටහිර ඉරාකයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker වර්ගයේ ඉන්ධන සපයන ගුවන් යානයක් බ්‍රහස්පතින්දා අනතුරකට ලක්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය (US Central Command) තහවුරු කරයි.
මෙම ගුවන් අනතුර සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශ්වයේ වැරදීමකින් එල්ල වූ ප්‍රහාරයක් (friendly fire) හේතුවෙන් සිදු නොවූවක් බවත්, මිත්‍රශීලී ගුවන් කලාපයක් තුළදී එය සිදුවූ බවත් ඇමෙරිකානු හමුදාව අවධාරණය කර සිටියි. මෙම මෙහෙයුමට යානා දෙකක් සම්බන්ධ වී ඇති අතර, ඉන් එක් යානයක් මෙලෙස කඩා වැටී ඇති නමුත් අනෙක් KC-135 ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්වා ඇත. කඩා වැටුණු යානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් ඇමෙරිකාව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කර නොමැති වුවද, එහි අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුවත් සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ වන විට මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ප්‍රකාශයන්ට පටහැනිව යමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඉරානයේ සහාය ලබන 'Islamic Resistance in Iraq' නම් සන්නද්ධ කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. ඔවුන් පවසන්නේ තම රටේ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් අදාළ යානය බිම හෙලූ බවත්, එම අවස්ථාවේදී එහි ගමන් කළ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුම මියගොස් ඇති බවත්ය. නමුත් ඇමෙරිකානු බලධාරීන් මෙම සතුරු ප්‍රහාරක චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් එය හුදු අනතුරක් පමණක් බව පෙන්වා දෙයි.
අනතුරට ලක්වූ KC-135 ගුවන් යානය යනු ගුවනේදී අනෙකුත් යානාවලට ඉන්ධන සැපයීම සඳහා භාවිත කරන, ඇමෙරිකානු ගුවන් හමුදාව සතු පැරණිතම මෙන්ම දුරස්ථ මෙහෙයුම් සඳහා අතිශය වැදගත් ගුවන් යානා මාදිලියකි. 1950 සහ 60 දශකවලදී බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම යානා, සාමාන්‍යයෙන් නියමුවෙකු, සහාය නියමුවෙකු සහ ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය මෙහෙයවන්නෙකු ඇතුළු තුන් හතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිතව ක්‍රියාත්මක වේ.
පෙබරවාරි 28 වැනිදා සිට ඉරානය සහ ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ බලවේග අතර ආරම්භ වූ යුදමය තත්ත්වය තුළ ඇමෙරිකාවට අහිමි වූ සිව්වන ගුවන් යානය මෙය ලෙස සැලකේ. පසුගිය සතියේදී කුවේටයට ඉහළ අහසේදී මිත්‍ර පාර්ශ්වයේම ප්‍රහාරයකට ලක්වීමෙන් F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානා තුනක් විනාශ වූ නමුත් එහි සිටි කාර්ය මණ්ඩලයේ හය දෙනාම නිරුපද්‍රිතව දිවි ගලවා ගැනීමට සමත් වූහ. මෙම සමස්ත ගැටුම තුළ මේ දක්වා ඇමෙරිකානු හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇමෙරිකාව විසින් මේ වන විට ඉරානය තුළ ඉලක්ක 6,000කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබේ.
යුදමය වාතාවරණයක් තුළ ලොව හොඳම හමුදාවකට වුවද මෙවැනි හදිසි අනතුරු සම්පූර්ණයෙන්ම වළක්වාගත නොහැකි බවත්, එය ගැටුමක නොවැළැක්විය හැකි පිරිවැයේ කොටසක් බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිමොක්‍රටික් පක්ෂ කොන්ග්‍රස් සභික ජිම් හයිම්ස් ප්‍රකාශ කර ඇත.

